by Staff Writer . 02-12-2021 | 11:09 AM
COLOMBO (NEWS1ST) : ජාතීන් හා ආගම් අතර අසමගිය ඇතිකිරීම හා සංහිඳියාව බිඳ දැමීමට උත්සාහ දැරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (2) නියෝග කළේ ය.
පසුගිය මාර්තු 9 වැනිදා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු 16 වැනිදායි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ඔහුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.
මේ අතර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීමට මුල්වූ පැමිණිල්ල කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල් ,නිමල් පියතිස්ස හා ගාමිණී වලේබොඩ යන මහත්වරුන්ට ලබන වසරේ පෙබරවාරි 21 අධිකරණයේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.
ඊට හේතුවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස වගකීම් විරහිතව ද්වේශ සහගතව සිදුකර ඇති පැමිණිල්ල නිසා තම සේවාදායකයාට අගතියක් වූ බවට අසාද් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු පෙන්වාදීමයි.
සිදුවූ අගතිය වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති අනුව වන්දි අයකර ගත යුතු බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දීමෙන් පසුව පැමිණිලිකාර පාර්ශවයට නොතීසි නිකුත් කෙරිණ.