වැලිගම නිවසක ගින්නක්: නිදා සිටි දැරිය පිළිස්සී මියයයි

by Sagarika Chathumali 01-12-2021 | 7:42 AM

COLOMBO (NEWS1ST) : මාතර, වැලිගම ප්‍රදේශයේ නිවසක ඊයේ (30) රාත්‍රී ඇති වූ ගින්නකින් 07 හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, නිවසේ කාමරයක් තුළ ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් වහළ පිළිස්සී ගොස් නිවස තුළට කඩා වැටීමෙන් කාමරයේ නිදා සිටි එම දැරිය ගිනන්ට හසුව පිළිස්සී මියගොස් ඇති බවයි. ගින්න හටගන්නා අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ නිවෙස් හිමිකරුගේ දියණියන් දෙදෙනා සහ මිත්තණියයි. රාත්‍රී 10.20 පමණ පියා එක් දැරියක නිදිකරවා, පසුව රැකියාව නිම කර පැමිණෙන මව රැගෙන ඒම සඳහා නිවසෙන් පිටත්ව තිබේ. පිරිස නින්දට ගොස් සිටි අවස්ථාවේ ගින්න හටගෙන ඇති අතර අසල්වාසීන් එක්ව නිවැසියන් පිටතට ගැනීමට කටයුතු කළ ද 7 හැවිරිදි දැරිය පිටතට ගැනීමට හැකියාවක් ලැබී නොමැත. පොලීසිය පැවසුවේ, සිද්ධිය සැලවූ වහාම වැලිගම පොලීසිය මාතර ගිනිනිවීම් රථ කැඳවා ගින්න මැඩ පවත්වා කටයුතු කළ බවයි. දැරියගේ සිරුර සොයා ගෙන තිබුණේ, ඇය නිදාගෙන සිටි කාමරයේ සුන්බුන්වලට යටවී මුළුමනින්ම පිළිස්සීමට ලක් ව මියගොස් සිටියදී ය. මේ අතර මුළුතැන්ගෙයි තිබූ ගෑස් සිලින්නඩරයට , ගෑස් උඳුනට හෝ අනෙකුත් උපාංගවලට කිසිදු හානියක් සිදුව නොමැති බව ත් ඒ අනුව ගෑස් ආශ්‍රිත කරුණක් මත මෙම ගින්න ඇති වී නොමැති බවට දැනට කරන ලද විමර්ශනවලදී නිරීක්ෂණය වී ඇති බවත් පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත ය.