by Staff Writer . 01-12-2021 | 5:58 PM
COLOMBO (NEWS1ST) : ඉන්දියාවේ සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවී තිබේ.
මෙම හමුවේදී මුදල් අමාත්‍යවරිය සහ බැසිල් රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාවට අදාළ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා වී ඇති අතර ඉන්දියාව ආර්ථික සහයෝගීතා වැඩසටහන් හරහා විවිධ ක්ෂේත්‍ර ගණනාවකදී ශ්‍රී ලංකාවට ලබාදී ඇති සහයෝගය පිළිබඳව මුදල් අමාත්‍යවරයා ස්තුතිය පළ කර ඇත.
මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරුන් ද මෙම හමුවට එක්ව සිට තිබේ.
මේ අතර රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඉන්දියාවේ සුලාබ් ජාත්‍යන්තර සමාජ සේවා සංවිධානයේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ බව ද මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ටුව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
ස්වේච්ඡා සංවිධානයක් වන සුලාබ් ජාත්‍යන්තර සමාජ සේවා සංවිධානය, මානව හිමිකම් , පුණර්ජනනීය බලශක්ති භාවිතය , කසල කළමනාකරණය සහ අධ්‍යාපනය හරහා සමාජ ප්‍රතිසංස්කරණයන් ඇති කිරීමට කටයුතු කරන සංවිධානයකි.
ද හින්දු වාර්තාවක දැක්වුණේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින 2 ක තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ඉන්දීය ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හමුවීමට ද නියමිත බවයි.
ඉන්දියාවට ළඟා වූ මුදල් අමාත්‍යවරයා පිළිගනු ලැබුවේ, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසිනි.
මෙය ඔහු මුදල් අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසුව එක්වන පළමු විදෙස් සංචාරයයි.