SLIIT රජයට අහිමි කිරීමේ සැලැස්මක් ගැන හෙළිදරව්වක්

තොරතුරු තාක්ෂණික ආයතනය රජයට අහිමි කිරීමේ සැලැස්මක් ගැන හෙළිදරව්වක්

by Staff Writer . 01-12-2021 | 2:47 PM

COLOMBO (NEWS1ST) :  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂිණික ආයතනය රජයට අහිමි කිරීමේ බරපතළ වංචාවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

මහපොළ භාරකාර අරමුදල යටතේ ආරම්භ වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික ආයතනය වංචනික හා දූෂිත ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ලක්ෂ්මන් රත්නායක, ලලිත් ආර්. ගමගේ හා තිලාන් විජේසිංහ යන අය අත්පත් කරගන ඇති බව විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ 2015 දින 100 ආණ්ඩු කාලය තුළ තොරතුරු තාක්ෂණික ආයතනය පිහිටි ඉඩම ඔප්පුවක් මගින් වසර 60 ක බද්දක් ලෙස එකී පුද්ගලයින් ලබාගන ඇති බවයි. ඒ හේතුවෙන් පසුගිය වසර 6 තුළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික ආයතනයේ ආදායම නිසි ලෙස මහපොළ භාරකාර අරමුදලට ලැබී නොමැත. මෙම වංචාවෙන් මහපොළ භාරකාර අරමුදලට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 40,000 අධික බව රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. වංචා හා දූෂණ චෝදනා සේවීමේ ජනාධිපති කොමිසම මගින් මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් දීමට පවා නිර්දේශ කර ඇති බව එහි සඳහන් ය. මේ පිළිබඳව සොයා බලා මෙම ආයතනය නැවත මහපොළ භාරකාර අරමුදල යටතට පවරා ගන්න ලෙස විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.