සංයුතිය ද ? උපකරණ ද?

''ගෑස් සංයුතිය වෙනස් වීමට සාපේක්ෂව උපකරණත් ශක්තිමත් වියයුතුයි''- ඇමති අලගියවන්න

by Staff Writer . 01-12-2021 | 9:17 PM

COLOMBO (NEWS1ST) :  ගෑස් සංයුතිය වෙනස් වීමට සාපේක්ෂව රෙගියුලේටරය ඇතුළු උපකරණවල ශක්තිය වැඩි නොවුණ හොත් පුපුරායාම් සිදුවන බව විශේෂඥ මතයවී ඇතැයි, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගෑස් අනතුරු පිළිබඳව වෙළෙඳ අමාත්‍යාංශ ආංශික අධීක්ෂණ කාරක සභාව අද කැඳවා තිබූ විශේෂ රැස්වීමෙන් අනතුරුවයි. මේ අතර ගෑස් සංයුතියට අනුව උපකරණ ශක්තිමත්විය යුතු බව විශේෂ මතට වුව ද ලිට්රෝ සමාගම අද (01) පුවත්පත්වල මුදල් ගෙවා දැන්වීමක් පළකරමින් කියා සිටියේ එල්.පී. ගෑස් සඳහා භාවිත නොකරන ප්‍රමිතියෙන් තොර බාල රෙගියුලේටර්, නළ හා උඳුන් භාවිතයේදී සිදුවන නොසැලකිල්ල මෑතකදී ඇතිවූ සිදුවීම්වලට හේතුවී ඇති බවයි. මිලදී ගෙන ඇති ගෑස් මුලුමනින්ම ටෙන්ඩර් පටිපාටිය මත මිලදී ගෙන ඇති බවත් සෑම ගෑස් තොගයක් ජියෝ කෙම් ලංකා ආයතනයේ පරීක්ෂාවට ලක්කර ඇති බවත් ලිට්රෝ සමාගම එම නිවේදනයේ සඳහන් කර තිබේ. මේ අතර ලාෆ් ගෑස් සමාගම ද මේ පිළිබඳව අදහස් පළ කළේ ය. එහි උප සභාපති තිලක් ද සිල්වා පැවසුවේ,  ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව සිදුකරන පරීක්ෂණ නියමාකාර පරීක්ෂාවක් නොවන බවයි.
''ගෑස් සංයුතියේ විශාල වෙනසක් කරන්න කාටවත් බැහැ. සමාගම් දෙකටම ලැබුණු සංයුතිය එකවගේ තමයි අවුරුදු ගණනාවක් තිස්සේ, සිලෝන් පෙට්‍රෝලියම් ලැබ් එකේ කරන පරීක්ෂණය, ගෑස් ටැංකියකින් උඩින් අරගෙන ටෙස්ට් කරනවා ඒක ඇත්තටම හරි ටෙස්ට් එකක් නෙමෙයි. පොපේන් කියන ගෑස් එක සැහැල්ලු ගෑස් එකක් බියුටේන් කියන ගෑස් එක බර ගෑස් එකක් ඉතිං යම් කිසි කෙනෙක් මේක උඩින් අරගෙන ටෙස්ට් කෙරුවොත් ප්‍රොපෙන් වැඩියි කියලා පෙන්වෙනවා යටින් අගෙන බැලුවොත්, ඒක නිසා මේක හරියට මික්ස් එක අරගෙන තැන් තුනකින් අරගෙන නැව්වලින් එනකොටම ගන්න ක්‍රමවේදය තමයි හරියන්නේ''
ගෑස් සමාගම් එසේ පැවසුව ද අදත් ගෑස් ආශ්‍රිත අනතුරු 13 ක් අද දිනය තුළ පමණ වාර්තා විය. ඊයේ දිනය තුළ අනතුරු 14 ක් වාර්තාවූ අතර පෙරේදා වාර්තාවූ අනතුරු ගණන 6 කි. පඬුවස්නුවර, හිත්තරපොල ප්‍රදේශයේ නිවසක ගෑස් ළිපක් පිපිරීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා, අද මුවන්හෙළ රෝහලට ඇතූළත් කෙරිණ. ගෑස් කාන්දුවකින් ඇතිවූ ගින්නකින් මහනුවර කුණ්ඩසාලේ නත්තරම්පොත ප්‍රදේශයේ නිවසක කාන්තාවක් ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පැයකට අධික කාලයක් එහි ගින්න පැතිර ගිය බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. මහනුවර අකුරණ මැංගුස් වත්ත පෙදෙසේ නිවසක ගෑස් ළිපක් පුපුරා ගොස් තිබූ අතර පිපිරීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත. නුවරඑළිය, නානුඔය නගරයේ අවන්හලක මුළුතැන්ගෙයි තිබූ ගෑස් ළිපක පිපිරීමක් සිදුව තිබුණේ ඊයේ රාත්‍රියේයි. තලවකැලේ දුම්රියපොළ මාර්ගයේ නිවසක මුළුතැන්ගෙහි ගෑස් උඳුනක් සහ ගැස් නළයක් පුපුරා ගොස් තිබිණ. පිපිරිමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැත. අද අලුයම 4:30 ට පමණ වලස්මුල්ල හක්මන මාර්ගයේ නිවසකද ගෑස් උඳුනක් පුපුරා ගියේ ය. මේ අතර හුංගම පොලිස් වසමේ ඇත්බටුව ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ 8.30 ට පමණ ගෑස් උඳුනක් පිපුරාගොස් තිබුණි. මිහින්තලය නගරයේ නිවසක ඊයේ රාත්‍රියේ ආහාර පිසීමෙන් අනතුරුව ගෑස් ළිප පුපුරා ගොස් තිබූ අතර නිවැසියන් පැවසුවේ ගෑස් ළිපට පමණක් හානි සිදුවූ බවයි. මේ අතර දඹුල්ල ලෙනදොර මැණික්දෙන ප්‍රදේශයේ ගෑස් කාන්දුවක් හේතුවෙන් අද අලුයම පිපිරීමක් සිදුව තිබේ. පසුව ගෑස් සිලින්ඩරය පරීක්ෂා කර බැලීමේදී ඒ තුළින් කාන්දුවක් සිදුවනබව දැකගැනීමට හැකිවී තිබේ. කළුතර දකුණ පොලිස් වසමේ , පලාතොට තේක්කවත්ත, ප්‍රදේශයේ අද ගෑස් උඳුනක් පුපුරා තිබේ. අම්බලන්ගොඩ ගොඩහේන ප්‍රදේශයේ තෙමහල් නිවසක ගෑස් උඳුනක් ද පුපුරා ගොස් ඇත්තේ අද දිනයේයි. මේ අතර කින්නියා ඉඩිමන් ප්‍රදේශයේ ද ගෑස් ගෑස් උඳුනකට හානිවී තිබූ අතර ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත. යාපනය සිත්තන්කනී ප්‍රදේශයේත් ගෑස් උඳුනක් හානිවී තිබිණ. මේ අතර ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය අද ලිට්රෝ ගෑස් සමාගමට පැමිණියේ ගෘහස්ත ගෑස්වල ප්‍රමිතිය විමසා බැලීමටයි. නමුත් කාර්යාලයේ දොරටු අගුළු දැමීම නිසා කිසිවෙකුටත් අතුල් වීමට නොහැකි වයි. පිරිස එහිදී ඉල්ලා සිටියේ, රට හැම තැන සිදුවන ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් කළමනාකාරවරයාට ලිපියක් භාර දීමට අවශ්‍ය බව පැවසුව ද පිරිසට ඇතුළුවීමට අවසර නොලැබිණ. පසුව පිරිස ලිට්රෝ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළේ ය.
 ''මුන්ගෙ ගෙවල්වල පිපුරුවා නම්, මුන්ට තේරෙයි මැති ඇමතිවරුන්ගේ ගෙවල්වල පිපුරුවා නම් තේරෙයි, ගෑස් පුපුරණ එකේ ප්‍රතිවිපාකය. මෙය ලිපිය බාර ගන්න තුරු අපි මෙතන වාඩිවී සිටිනවා''
පසුව එම ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණ ලිට්රෝ සමාගමේ කළමනාකාරීත්වයට ලිපිය භාර දීමට අවස්ථාව සලසා දුන්නේ ය. ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සාමාජිකයින් එම ස්ථානයෙන් පිටවීමට සූදානම්වන අවස්ථාවේ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා එම ස්ථානයට පැමිණීමත් සමග සංවාදාත්මක තත්ත්වයක් ඇති විය.