''කංසා අපනයනයට නීතිමය අවසරය ගන්නවා'' - සිසිර ජයකොඩි

by Sagarika Chathumali 30-11-2021 | 5:02 PM

COLOMBO (NEWS1ST) : කංසා අපනයනය කිරීම සඳහා පමණක් නීතිමය අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

අමාත්‍යවරයා අද (30) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, ඉදිරි මාස 03 ඇතුළත ඒ සඳහා වන අනුමැතිය ලබා ගන්නා බවයි. ඇතැම් දේශීය ඖෂධ වර්ග තහනම් කරමින් සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය බටහිර අධිරාජ්‍යවාදී පාලනය යටතේ එදා  විනාශ කර දැමූ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා කියා සිටියේ බටහිර අනුකාරකවාදී උගත් පිරිස විසින් රටේ දේශීය ඖෂධත්, දැනුම් පද්ධතියත් සමච්චලයට ලක් කරනු ලැබූ බවයි. ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධීය කංසා වර්තමානයේ රෝගාබාධ සුව කිරීමට මෙන්ම රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා ද යොදා ගන්නා බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරුණූ පැහැදිලි කරමින් කියා සිටියේ ය. මේ අතර පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය ද රාජ්‍ය අනුග්‍රහයෙන් කංසා වගාව නීතිගත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ අතර ඇය කියා සිටියේ, කංසා අපනයනය හරහා රට ණය බරින් නිදහස් කර ගත හැකියාව ඇති බව ය. තව ද කංසා වාණිජ භෝගයක් ලෙස වගා කර අපනයනය කිරීම හරහා තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අයතනවලින් මූල්‍යාධාර ඉල්ලා සිටීමට අවශ්‍ය නොවන බව, කංසා අපනයනයෙන් ආදයම් ලබන ලොව අනෙකුත් රටවල් පිළිබඳ මෙන්ම අනාගතයේදී කංසා අපනයනයේ ඇති වාසි පිළිබඳ පුරෝකථනය කරන ලද දත්ත ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරිය එදින කරුණු  පැහැදිලි කළා ය. https://www.youtube.com/watch?v=V9Tb6pcTtZk