පාස්කු ප්‍රහාරය:නිශ්චිත බුද්ධිතොරතුරක් දුන්නෙ නැහැ

පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපතිට නිශ්චිත තොරතුරක් දුන්නෙ නැහැ.... හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීයා අධිකරණය හමුවේ කියයි

by Staff Writer . 29-11-2021 | 8:13 PM
COLOMBO (NEWS1ST) : පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන තෙක් එවැනි ප්‍රහාර මාලාවක් එල්ලවිය හැකි බවට නිශ්චිත බුද්ධි තොරතුරක් ඒ වනවිට විදේශගතව සිටි එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී නොතිබූ බව හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද (29) මහාධිකරණයේදී ප්‍රකාශ කළේ ය. කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ 5වන දිනටත් සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ, එවක අගමැතිවරයාට, රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට ඇතුළු දේශපාලන අධිකාරියට හෝ එවක පොලිස්පතිවරයාට ද නිශ්චිත බුද්ධි තොරතුරක් ලෙස ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැනුම්දී නොතිබූ බවයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම ඇතුළු අධිචෝදනා 855 ක් යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහි නඩුව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද නැවත කැඳවී ය. එහිදී පස්වන දිනටත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි දුන් අතර වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද අද සාක්ෂි දුන්නේ ය. පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා එහිදී කියා සිටියේ බුද්ධි අංශ ලබාදෙන තොරතුරු ඔස්සේ විමර්ශනය සිදුකර ඒවා වර්ධනය කරගෙන එවැනි ව්‍යයසනවලින් රට ගළවා ගැනීම සඳහා පොලිස්පතිවරයා පියවර ගත යුතු බවයි. "රාජ්‍ය බුද්ධි අංශය ලබාදෙන තොරතුරු සම්බන්ධයෙන් පියවර ගැනීමට ඒවා නිශ්චිත බුද්ධි තොරතුරු විය යුතුම නැහැ. ඒවා 100% ක්ම නිවැරදි විය යුතු නැහැ. අභ්‍යන්තරය ගැන නොවෙයි.හරයයි අවශ්‍ය. බුද්ධි අංශවලින් ලැබෙන තොරතුරු කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ යුතුයි. ඒ ගැන ක්ෂණිකව පියවර ගත යුතුයි." යනුවෙන් ද පොලිස්පතිවරයා සාක්ෂි දෙමින් කියා සිටියේ ය. ඔහු පෙන්වා දුන්නේ, පොලිස්පතිවරයා වැටුපක් ලබන රාජ්‍ය නිලධාරියෙකු පමණක් නොව රට තුළ නීතිය හා සාමය පවත්වාගෙන යා යුතු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශේෂී වගකීමක් පැවරී ඇති අයෙකු බවයි. බුද්ධි අංශවලින් ලබාදෙන ජාතික ආරක්ෂාවට බලපාන තොරතුරු සම්බන්ධයෙන් ඔහු පෞද්ගලිකව දැඩි අවධානය යොමු කළ යුතු බවද වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ ය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ, ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයෙකු වන පොලිස්පතිවරයා වර්තමානයේ පමණක් නොවන අනාගතයේ ද ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ කටයුතු බවයි. නාමල් බලල්ලේ , ආදිත්‍ය පටබැදිගේ සහ මොහොමඩ් ඉර්සදීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන නඩුව ලබන වසරේ ජනවාරි 18 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේ ය.