ප්‍රදේශ රැසකට තද වැසි..

ප්‍රදේශ රැසකට තද වැසි.. දිස්ත්‍රික්ක 03කට නායයාම් රතු නිවේදන..

by Staff writer 29-11-2021 | 10:16 AM

COLOMBO (NEWS1ST) : දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි ය. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ අනාවැකියේ සඳහන් ය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. පැවති වර්ෂාවත් සමග දැඳුරු ඔය ජලාශයේ වාන් දොරටු 05ක් මේ වනවිට විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අතර ඇල්ල , නමුණුකුල හරහා පස්සර මාර්ගය මේ වනවිට සම්පුර්ණයෙන් අවහිර වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා සඳහන් කළේ, 16 කණුව අසළින් මාර්ගයට ගල් පෙරළී ඇති බවය. විකල්ප මාර්ග ලෙස බදුල්ල - පස්සර මාර්ගය භාවිත කරන්නැයි ඔහු රියැදුරන්ට දැනුම් දෙයි. මේ අතර නුවරඑළිය , වලපනේ - නීල්දණ්ඩාහින්න මාර්ගයට පුස්සලපිටිය ප්‍රදේශයෙන් ගල් පෙරළී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා සඳහන් කළේ, මේ වනවිට මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර ඇති බවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද ලබාදෙන නිර්දේශ මත මාර්ගයේ අනෙක් මංතීරුව විවෘත කරන බව ඔහු සඳහන් කළේ ය. එම ප්‍රදේශයෙන් රථවාහන ධාවනය කිරීමේදී වඩාත් විමසිලිමත්වන්නැයි ඔහු රියැදුරන්ට දැනුම් දෙයි. මේ අතර දිස්ත්‍රික්ක 8 කට නිකුත් කළ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනය අද (29) පස්වරුව දක්වා බල පැවැත්වෙයි. දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇත්තේ , නායයාම් පිළිබද රතු නිවේදනයකි. ඒ අනුව ?මහනුවර දිස්ත්‍රික්කයේ ‍ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ?කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, මාවනැල්ල, වරකාපොළ, රුවන්වැල්ල, කෑගල්ල, ගලිගමුව, යටියන්තොට, අරනායක, බුලත්කොහුපිටිය සහ රඹුක්කන ?කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම සහ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එලෙස නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ. කොළඹ, කළුතර, රත්නපුර, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලටද, අදියර එක හා අදියර දෙක යටතේ නායයෑම් අනතුරු හැඟවීමේ නිවේදනය කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.