ගෙවුණු පැය 24 තුළත් ගෑස් කාන්දුවී පිපිරීම් 8 ක්...

ගෙවුණු පැය 24 තුළත් ගෑස් කාන්දුවී පිපිරීම් 8 ක්...

by Staff Writer . 29-11-2021 | 8:45 PM

COLOMBO (NEWS1ST) :  මේ වන විට මෙරට ගැස් සිලින්ඩරවල ආරක්ෂාකාරීභාවය හා ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබේ.

අදත් දිවයින් ස්ථාන කිහිපයක ගෑස් පිපිරීම් වාර්තා විය. පසුගිය 2021 නොවැබ්මර් 04 වැනිදා වැලිගම කප්පරතොට සංචාරක නවාතැන්පොළක් තුළ සිදුවූ පිපිරීමත් සමග කරළියට ආ ගෑස් කාන්දුවීම් ආශ්‍රිත පිපිරීම්, ගිනි ගැනීම් ඇතුළු සිදුවීම් දැන් දිනෙන් දින වාර්තා වේ. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඩා ප්‍රමාණයේ ආපන ශාලාවක අද (29) පෙරවරුවේ තවත් ගෑස් පිපිරීමක් සිදුවී තිබේ. උදෑසන 8.30 ට පමණ පළමුව ගෑස් බටයේ ගින්නක් හට ගත් බවත් පසුව එය පුපුරා ගිය බවත් වෙළඳසැලේ හිමිකරු සඳහන් කරයි. සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත. මේ අතර අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු අද පෙරවරුවේ අතුරුගිරිය ගෑස් අළෙවි සැලකින් මිලට ගත් ගෑස් සිලින්ඩරයක කාන්දුවක් නිරීක්ෂණය වීම හේතුවෙන් එය වෙනත් සිලින්ඩරයකට මාරු කර තිබේ. එහිදී අදාළ වෙළඳසලේ හිමිකරු විසින් සිදුකරන ලද පරීක්ෂාවේදී හෙළි වුණේ අළෙවි නියමිතව තිබූ තවත් තවත් සිලින්ඩර 04 ක්ද කාන්දුවීම් සහිත බවයි. හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ තවත් ගෑස් කාන්දුවක් නිසා සිදුවූ පිපිරීමක් වාර්තා විය. මේ අතර තවත් ගෑස් කාන්දුවී පිපිරීමක් යාපනය චුන්නාකම් ප්‍රදේශයෙන් ද වාර්තා විය. ඊයේ රාත්‍රියේ හලාවත කාක්කපල්ලිය සේමාරිප්පුව ප්‍රදේශයේ නිවසක සිදුවූ ගෑස් කාන්දුවක් නිසා තවත් පිපිරීමක් සිදුව තිබේ. මේ අතර මාරවිල ගැරැජ් මාවතේ නිවසකත් ගෑස්කාන්දුවක් නිසා රෙගියුලේටරය පුපුරාගොස් තිබේ. සිද්ධියෙන් කිසිවෙකුටත් හැනි සිදුව නොැමැත.