ගෑස් පිපිරීම් ගැන වාර්තාවක් මොරටුව සරසවියෙන්..

ගෑස් පිපිරීම් ගැන නිර්දේශ ඇතුළත් වාර්තාවක් මොරටුව සරසවියෙන් ලබා ගැනීමට සැලසුම්..

by Staff writer 29-11-2021 | 9:19 AM

COLOMBO (NEWS1ST) : ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් වාර්තාවක් මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලබා ගැනීමට නියමිත බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඒ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා ඛනිජ තෙල් සංස්ථාවට යැවූ නියැදිවල වාර්තාවක් සැලකිල්ලට ගනිමින් ය. ඒ අනුව ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට පිට පළාත්වලින් නියැදි 20ක් ඊයේ දිනයේ ලබා ගත්‌තේ ය. මේ අතර, ඊයේ(28) දිනයේත් ගෑස් පිපිරීම් 03ක් වාර්තා විය. කල්මුණේ, වට්ටවිදානෙයි ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවක් නිසා ගෑස් ලිපක් පුපුරා ගියේ ය. ඉන් නිවසේ මුළුතැන්ගෙයට හානි විය. මේ අතර කෑගල්ල, රොක්හීල්, කහටපිටිය ප්‍රදේශයේ නිවසක ඊයේ පෙරවරුවේ ගෑස් ලිපක් පුපුරා ගියේ ය. සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් වී නොමැත. ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිවසක ද ගෑස් කන්දුවක් නිසා ගිනි ගැනීමක් සිදුව තිබේ. අප වාර්තාකරු පැවසුවේ, පසුව නිවැසියන් ගෑස් සිලින්ඩරය හා ලිප නිවසින් පිටතට විසි කර ඇති බවය. ඒ හේතුවෙන් නිවසට හානියක් සිදුව නොමැති අතර අදාළ අවස්ථාවේ විශාල ගින්නක් හට ගත් බව නිවැසියන් පැවසුවේ ය.