අද (28) ත් ගෑස් කාන්දුවීමේ අනතුරු දෙකක්

ගෑස්වල ප්‍රමිතිය පරික්ෂාවට සාම්පල ප්‍රමිති ආයතනයට

by Staff Writer . 28-11-2021 | 10:13 PM

COLOMBO (NEWS1ST) :  ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට පිට පළාත්වලින් නියදි 15 ක් ලබාගැනීමට කටයුතු කර ඇතැයි, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ගෑස්වල ප්‍රකාශයට පත්කර ඇති ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සාම්පල කිහිපයක් අද දිනයේ ප්‍රමිති ආයතනයට යොමු කරන බවයි. මේ අතර අද දිනයේත් ගෑස් පිපිරීම් කිහිපයක් වාර්තාවිය. කල්මුණේ වට්ටවිදානෙයි ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවක් නිසා ගෑස් ළිපක් පුපුරාගොස් තිබේ. අද උදෑසන 8. 30 පමණ සිදුවූ පිපිරීමෙන් නිවසේ මුළුතැන්ගෙයට හානිවිය. මේ අතර කෑගල්ල රොක්හීල්, කහටපිටිය ප්‍රදේශයේ නිවසක අද පෙරවරුවේ ගෑස් ළිපක් පුපුරා ගියේ ය. ගෙහිමියා සිද්ධිය මෙලෙස විස්තර කළේ ය.
''අද උදෑසන 7 ට පමණ තේ සකස් කිරීම සඳහා කේතලය ගෑස් ළිප මත තබා දල්වා මුහුණ සේදීම සඳහා නාන කාමරයට ගිය මොහොතේ බෝම්බයක් පිපිරුණා වගේ ශබ්දයක් ආවා නාන කාමරයෙන් එළියට පැමිණ බලන ගෑස් ළිප සම්පූර්ණයෙන් පුපුරලා''
සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත. මේ අතර ලක්වාසී සියලු නිවෙස්වල ඇති ගෑස් ටැංකි ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සීනිගම දෙවොල් දේවකන්නලව්වක් පැවැත්විණ. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ජගත් ආනන්ද මහතා දේව කන්නලව්වක් සිදුකර ගෑස් ටැංකියේ පඬුරක් ගැට ගැසීම සිදු කළේ ය.