දකුණු අප්‍රිකාව පුරාම දැඩි සංචරණ සීමා...

ජනපති රමපෝසා කොවිඩ් අණදෙන සභාව කැඳවයි

by Staff Writer . 27-11-2021 | 9:41 PM

COLOMBO (NEWS1ST) :  දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රමපෝසා කොවිඩ් වෛරසය පිළිබඳ ජාතික අණදෙන සභාව හදිසියේ කැඳවා තිබේ.

ඒ එරට අතුළු කලාපීය රටවල් කිහිපයක පැතිරෙමින් ඇති දැඩි ලෙස විකෘතිතාවන්ට ලක්ව ඇති නව කොවිඩ් ප්‍රභේදය පිළිබද සාකච්ඡා කිරීම සඳහායි. සිරිල් රමපෝසා මෙම සභාව කැඳවනු ලබන්නේ යුරෝපයේ සියලු රටවල්, අමෙරිකාව ඇතුළු රටවල් රැසක් අප්‍රිකානු කලාපයට සංචාරක තහනම් පනවා ඇති පසුබිමකදී ය. පවතින තත්ත්වය හමුවේ රට පුරා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට තමන් තීරණය කළ බව සභාව අමතමින් දකුණු අප්‍රිකානු ජනපතිවරයා කියා සිටියේ ය. මේ අතර අද (27) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත දැනුම් දෙන තුරු දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියා, සිම්බාබ්වේ හා ස්වාසිලන්තය යන රටවල සිට පැමිණෙන මගීන්ට, මෙරටට ඇතුළු වීම තහනම් කර තිබේ. ඒ දකුණු අප්‍රිකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගැනීමත් සමගයි. දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනාගත් නව කොවිඩ් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමක්‍රෝන් ලෙස නම් කරනු ලැබ තිබේ. එම සංවිධානය පැවසුවේ, දැඩි ලෙස විකෘති වී ඇති නව ප්‍රභේදය පැතිරීමේ වේගය ඉතා ඉහළ බවයි. ඉකුත් 24 වැනිදා දකුණු අප්‍රිකාවෙන් මුල් වරට ඔමක්‍රොන් ප්‍රභේදයේ ආසාදිතයෙකු හමුවූ අතර මේ වන විට බොට්ස්වානා, බෙල්ජියම, හොන් කොන්ග් හා ඊශ්‍රායලයෙන් ද නව ප්‍රභේදයේ ආසාදිතයින් වාර්තා වී තිබේ. නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග බ්‍රිතාන්‍ය, සිංගප්පූරුව, ජපානය ඇතුළු රටවල් අප්‍රිකානු කලාපීය රටවල් රැසකට මේ වන විටත් සංචාරක තහනම් පනවා අවසන් ය. අද දිනයේ පැමිණෙන මගීන් දින 14 නිරෝධායනයට යොමු විය යුතු බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළේ ය. අදාළ රටවල සිට අතරමැදි ගුවන් ගමන් සඳහා පැමිණෙන මගීන්ට ද මෙරටට ඇතුළුම තහනම් වනු ඇති.