ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලෝක කුසලානය අහිමිවෙයි

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය: සුදුසුකම් ලැබීමේ තරගාවලිය අත්හිටුවයි

by Staff Writer . 27-11-2021 | 8:36 PM

COLOMBO (NEWS1ST) :   ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ සිම්බාබ්වේහිදී පැවති තරගාවලිය අවලංගු කළ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (27)නිවේදනය කළේ ය.

තරගාවලිය පැවැත්වෙන දකුණු අප්‍රිකා කලාපයේ මේ වන විට පවතින කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණයට එළැඹ තිබේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සහය කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව අද පැවැත්වීමට නියමිතව තිබූ තරගය අවලංගු කෙරිණ. තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම නිසා ඔවුන් නිරෝධායනයට යොමු කෙරිණ. මේ අතර දකුණු අප්‍රිකා කලාපයේ පැතිර යන කොවිඩ් - 19 ප්‍රභේදය හේතුවෙන් සිම්බාබ්වේ ද ඇතුළුව එම කලාපයේ රටවල් 6ක සිට පැමිණෙන මගීන්ට මෙරටට පැමිණීම තහනම්කර ඇති බැවින්, ශ්‍රී ලංකා කණ්ඩායම ගෙන්වා ගැනීම ගැටලුවක් වී තිබේ. ඒ පිළිබඳව ස්පෝර්ට්ස් ෆස්ට් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි කටයුතු පිළිබඳව දැනුම් දෙන බවයි. රටවල් 8ක සහභාගීත්වයෙන් නවසීලන්තයේදී පැවත්වෙන තරගාවලියට කණ්ඩායම් 5ක් මීට පෙර තේරී පත්ව සිටි අතර සිම්බාබ්වේහිදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ඉතිරි කණ්ඩායම් 3 තෝරා ගැනීමට සැලසුම්කර තිබිණ. මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළේ, කාන්තා ක්‍රිකට් ලෝක ශ්‍රේණිගතකිරීම් අනුව ඉතිරි කණ්ඩායම් 3 තෝරා ගැනීමට තීරණය කළ බැවින් බංග්ලාදේශය, පකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් එම අවස්ථාව හිමිකර ගත් බවයි. ඒ අනුව මේවන විට ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 10 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය අහිමි වේ.