ටින්කර් ලසන්ත ඝාතන සූදානම ගැන ඔත්තුවක්

ටින්කර් ලසන්ත ඝාතන සූදානම ගැන කලින් දවසෙ ඔත්තුවක්

by Staff Writer . 26-11-2021 | 10:31 PM

COLOMBO (NEWS1ST) : කොටවිලදී සන්ෂයින් සුද්දා ඝාතනය කළ බව කියන ටින්කර් ලසන්ත කළුතර දූෂණ මර්දන ඒකකය ඊයේ රාත්‍රි කළුතර නිවසකදී අත්අඩංගුවට ගත්තේ ය.

අනතුරුව සඟවා තිබූ පිස්තෝල දෙකක් සහ අත්බෝම්බයක් සෙවීමට ගිය අවස්ථාවේ සැකකරු පොලීසියට වෙඩි තැබූ බව ත් එහි දී පොලීසිය කළ වෙඩි තැබීමෙන් සැකකරු ජීවිතක්ෂයට පත්වූ බවත් පොලීසිය පැවසී ය සිදු වූ වෙඩි හුවමාරුවීම්වලදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය. ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නමැත්තා පාතාල වෙඩික්කරුවෙකු මෙන්ම බරපතළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකි. මේ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ආයුධ සෙවීමට ගොස් අද අලුයම මියගිය අදාළ සැකකරු පොලිස් අත්අඩංගුවේදී මියයාහැකි බවට ඊයේ රාත්‍රියේම තමන්ට තොරතුරු ලැබුණූ බවයි. ඒ අනුව ඊයේ දින රාත්‍රියේම මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කළ බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් එච් .එල්. ලසන්ත හෙවත් ටින්කරින් ලසන්ත නමැති තම සේවාදායකයා ආයුද පෙන්වීමේදී සිදුවන වෙඩි හුවමාරුවක් මුවාවෙන් ඝාතනයට ලක් කිරීමේ සැලැස්මක් ඇති බව ඔහුගේ නීතිඥ සංජය ආරියදාස මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට දැනුම් දී තිබේ. ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පොලිස්පතිවරයාට ඊමේල් සහ කෙටි දුරකථන පණිවිඩයකින් දැනුම් දීමක් කර තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිලි හා විමර්ශන භාර කොමසාරිස් වෙත ද කොමිසන් සභාවේ පැමිණිලි හා විමර්ශන අධ්‍යක්ෂ වෙත ද ,මානුෂීය නියෝජිත ආයතන සමූහයේ ප්‍රධානී වත්මන් උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා වෙත ද දැනුම් දීම් කර තිබෙන්නේ ඒ අනුවයි . ටින්කරින් ලසන්ත ඝාතනයට ලක්වන්නේ මෙවන් පසුබිමකදී ය. මීට පෙර සිදු වූ මෙවැනිම ඝාතන පිළිබඳව මෙතෙක් පරීක්ෂණ කිරීමක් හෝ වැරදිකරුවන් හඳුනාගැ නීමක් හෝ සිදු කර නැති බව සිහිපත් කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටින්නේ සැකකරුවෙකුගේ ආරක්ෂාව සැලසීමට අපොහොසත් වීම පිළිබඳ පොලිස්පතිවරයා කරුණු පැහැදිලි කළ යුතු බවයි.