කොවිඩ් ආසාදිතයන්ට මොල්නුපිරවීර් කැප්සුලය..

කොවිඩ් අධිමාත්‍රා එන්නත (Booster) ජංගම සේවා මගින්...

by Staff Writer . 26-11-2021 | 11:11 PM

COLOMBO (NEWS1ST) :  කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලබාගෙන මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60 ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මගින් කොවිඩ් අධි මාත්‍රා එන්නත (Booster) ලබාදීමට කටයුතු කරන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

කොරෝනා මර්දන දෙවන එන්නත් මාත්‍රාව ගෙන මාසයක් ඉක්ම වූ වයස අවුරුදු 20 ට වැඩි බෝ නොවන රෝගවලින් පෙළෙන සියලු දෙනාට ද තුන්වන මාත්‍රාව ලබාදීමට අද පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී තීරණය කෙරිණ. පිළිකා රෝගීන්, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබන්නන්, අවයව බද්ධ කළ රෝගීන්, රුධිර කාන්දුකරණ රෝගීන්, බෝ නොවන රෝගයක් හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු සියලුදෙනාට විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත එන්නත් තුන්වන මාත්‍රාව අදාළ සායනයෙන් හෝ සෑම සෙනසුරාදා දිනකම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන්, ලබාගත හැකියි. කොවිඩ් ආසාදිතයන් සඳහා මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් මේ වන විට භාවිත කරන මොල්නුපිරවීර් කැප්සූලය ලබාදීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබේ. කොවිඩ් එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අදාළ ඖෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන්නැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට උපදෙස් දී තිබේ. ග්‍රාමීයව කොවිඩ් පැතිරයාම පාලනය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ද කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී සාකච්ඡාවට ලක්වී තිබේ.