කෙරවලපිටිය බලාගාරයේ පෙත්සමට දින නියම වෙයි

කෙරවලපිටිය බලාගාරයේ පෙත්සම කැඳවීමට දින නියම වෙයි

by Staff writer 26-11-2021 | 3:42 PM

COLOMBO (NEWS1ST) : කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන 29 වැනිදා අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට ‍ශ්‍රේෂ්ඨාධිකරණය අද(26) දින නියම කළේ ය.

පෙත්සම් ගොනු කර ඇත්තේ, කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස්වලින් 40 % ක් අමෙරිකානු සමාගමකට පවරාදීම සහ බලාගාරයට ද්‍රව වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව අමෙරිකානු සමාගමකට පවරාදීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලමිනි. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය ,බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන , විජිත් මලල්ගොඩ හා එල් ටී.බී දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවීමට නියමිතයි. පෙත්සම් අද කැඳවනු ලැබුවේ, මුර්දු ප්‍රනාන්දු , ගාමිණි අමරසිංහ සහ අර්ජුන ඔබේසේකර යන ‍ශේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති උදය ගම්මන්පිල , විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේ ය. පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය , කැබිනට් මණ්ලයේ ලේකම්වරයා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා , ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු 48 දෙනෙකු නම් කර තිබේ.