by Staff Writer . 25-11-2021 | 9:37 PM
COLOMBO (NEWS1ST) : අද කාන්තා හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයයි.
තැඹිළි පැහැ ලෝකයක් - කාන්තාවන්ට එරෙහි හිංසනය දැන්වත් අවසන් කරමු, මෙවර තේමාවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව ලොව පුරා සිටින සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙක් සිය ජීවිත කාලය තුළ අපයෝජනයට ලක්වේ.
කොරෝනා වසංගතය, යුද ගැටුම් සහ දේශගුණ විපර්යාස වැනි අවස්ථාවලදී පෙන්නුම් කරන්නේ ඊටත් ඉහළ අගයකි.
එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ සංවිධානය කළ සමීක්ෂණයකට අනුව කොරෝනා වසංගතයත් සමග කාන්තාවන් 3 දෙනෙකුගෙන් දෙදෙනෙක් ආහාර සොයා ගැනීමේ ගැටලුවලට මැදිව සිටී.
කාන්තා හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අද සිට දින 16 ක් වෙන් කෙරෙන්නේ කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට එරෙහි හිංසනයෙන් තොර දීප්තිමත් අනාගතයක් උදා කිරීම සඳහායි.
ඒ වෙනුවෙන් ලොව පුරා විවිධ ස්ථාන තැඹිළි පැහැයෙන් වර්ණවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ.
තැඹිළි පැහැ අත් පළඳනාවක් සහා ස්ටිකරයක් පැළඳ අද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවිය.
කාන්තා හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් කාන්තාවන්ට හා ගැහැනු දරුවන්ට හිංසනය එපා යන්න තේමා කර ගනිමින්, පුවරු රැගෙන පා පැදිවලින් කොළඹ සංචාරක නිරත විය.
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිවරිය පා පැදියකින් කොළඹ සංචාරය කර එම බැනරය තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල සහ යුරෝපා සංගම් හා එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ලබා දුන්නා ය.
එහිදී පුවරු ලබා ගත්, තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු එම පාපැදි සංචාරයට එක් වූහ.