ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ නිදහස් පක්ෂය අතේ - හිටපු ජනපති මෛත්‍රීපාල

by Staff Writer . 25-11-2021 | 11:36 AM

COLOMBO (News 1st)- වත්මන් ආණ්ඩුවේ 2/3ක බලය රැඳී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා මත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ ය.

ඒ පසුගිය අඟහරුවාදා මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා අයවැය විවාදයට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා බලයේ සිටි කාලයේ අයවැයෙන් වෙන් කළ මුදල් හා වෙන්කර තිබූ වාහන පිළිබඳව පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමිනි. එල්ල වන චෝදනා සම්පූර්ණ අසත්‍යක් බව පැවසූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ,  තමන්ට වෙන් කර තිබුණේ, වාහන 4ක් පමණක් බවයි.
''ඊළඟට බිලිටන 3.5 ක් මගේ කාලේ වියදමත් අද වර්තමාන ජනාධිපතිතුමාගේ ගිය වසරේ 2020 වියදම 1.5 කුත් සඳහන් කරලා, විශාල වශයෙන් මුදල් වියදම් කරලා තියනවයි කියලා සඳහන් කළා. බොහොම පැහැදිළිවම මගේ කාලේ ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ව්‍යපෘති 07ක් ක්‍රියාත්මක වුණා. ඒ ව්‍යාපෘති අද කොහෙත්ම ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒවට තමයි මේ වියදම් කෙරුවේ''
මේ අතර මහින්දානන්ද අමාත්‍යවරයාට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ,  අපේ පක්ෂ නායකයට චෝදනා කරමින් ඉදිරියට යාමට උත්සාහ කරන්නේ නම්, ඉදිරියේදී ඉතා අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
''හිටපු ජනාධිපතිට මෙහෙම මඩ ගහනකොට, අපිට ඉවසගන ඉන්න බෑ. ගරු කතානායකතුමණි. අද මහින්දානන්ද ඇමතිතුමා මොනරෙක් වගේ පිල් විදහගෙන නටනවා. හැබැයි පස්ස එළියේ දාගන ඉන්නේ. එතුමට මම ආපහු කියනවා. පුළුවන්නම් ඔය වළ හාරන එකනේ කරන්නේ ඔය වළ තව හාරන්න කියන්න තව වළ හාරන කොට කුණු ගඳ එන එකනේ වෙන්නේ. ආණ්ඩුවේ කොටස්කාරයෝ විදියට අපි මේ ආණ්ඩුව රැක ගන්න කටයුතු කරලා තියනවා. ඉතිහාසයේ ඉඳන්. යම් යම් ප්‍රශ්නවලදී මේ ආණ්ඩුවේ ඇමතිවරු කතා කරනවා. වගේ අපිත් කතා කරලා තියනවා. යම් යම් කාරණා පිළිබඳව. ඒක ප්‍රජාතන්ත්‍රවාදී. ගහන්න ඕන්නම් අපිට ගහන්න හැබැයි අපේ පක්ෂ නායකයට ගහලා මේ වැඩේ ඉදිරියට යන්න හැදුවොත් මේක ඉතා අර්බුධකාරී තත්වයකට පත් වෙයි''
පසුව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සංවාදයට මැදිහත් වූ අතර ඔහු කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුව අතර කිසිදු ගැටලුවක් මතුව නොමැති බවයි. පසුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙලෙස අදහස් පළ කළේ ය.
''හෑරුවොත් ගොඩක් දේවල් ගඳ එයි තමයි මමත් පිළිගන්නවා. අර්ජුන් ඇලෝෂියස්ගේ චෙක්වල ඉඳන් එනන් පුළුවන්. ඒ නිසා මම වලවල් ගැන කතා කරන් නැ. මම එකෙදි කතා කරලා කිව්වේ පෞද්ගලික කාටවත් නෙවෙයි. මම කිව්වේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂ දෙක පිළිබඳව 2019 දී වැය කරලා තියනවා. බිලියන 3.73ක් .වත්මන් ජනාධිපතිතුමාගේ 2020 වසරේ වැය කරලා තියන මුදල බිලියන 1.2 ක් කියලා. ඊළඟට නිළ නිවස පිළිබඳව පැජට් පාරේ c 61 c 62 b 14 යනු නිවෙස් නොව නිවාස 3 ක් ඒ නිවාස තුනේ හිටියේ ඩී.බී විජේතුංග ජනාධිපතිතුමා සරත් අමුණුගම ඇමතිතුමා සහ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා. මේ නිවාස ගැන මම කතා කළේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්තුමා රත්නසිරි මහත්තයා එව්ව ලියුමක් මම සභාගත කරනවා. අපිට පුද්ගලිකව ගහන්න උවමනා නෑ. අපිට ගහනවා නම් අපිත් ගහනවා. ඒක හොදට මතකතියා ගන්න.කොන්ඳ පස්සට තියාගෙන නපුංසකයෝ වෙන්න අපි ලෑස්ති නෑ. හිටියත් එකයි නැතත් එකයි අපි ගැහුවොත් අපිත් ගහනවා. සමහර දේශපාලන පක්ෂ ගොවියා පස්සේ ගිහිල්ලා ගමේ ශාඛා ගැහුවා.ඒ වගේ පහත් තත්ත්වෙට වැටෙන්න එපා''