by Staff Writer . 24-11-2021 | 10:41 PM
COLOMBO (NEWS1ST) : අවුරුදු 6ක් අනාරක්ෂිත පාරුවකින් ගමන් කළ කින්නියා කළපුව ආශ්රිත ජනතාවට ජීවිත 6 ක් බිලි දීමෙන් පසු අද (24) ලංගම බස් රථයක් ලැබිණ.
කෙසේ වෙතත් මෙම බස් රථය පිළිගැනීමට ගම්මු සූදානම් නැහැ.
එයට හේතුව,මෙයත් තාවකාලික විසඳුමක් විය හැකි බවට ඔවුන් තුළ ඇති සැකයයි.
මේ ගම්මු රැවටුණේ වරක් දෙවරක් නොවේ. 1977 ඉදිකළ මෙම පාලම 2015 මහ වැස්සට කඩාගෙන ගොස් තිබිණ. පසුගිය අප්‍රේල් 11 වැනි දා පාලම ඉදිකිරීමට මුල්ගල තැබුණේ, ජනතා ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙසයි.
බිම සැකසුණා පමණි. නමුත් පාලම ඉදි නොවීය.
පිළියමක් නොමැති තැන මේ වසරේ ඔක්තෝබර් 28 වැනිදා, කින්නියා නගර සභාව කොන්දේසි කිහිපයකට යටත්ව පාරු සේවාවක් පවත්වාගෙන යාම සඳහා පුද්ගලයකුට අවසර ලබා දී තිබේ.
පාසල් ළමුන් නොමිලේ ප්‍රවාහනය, ආරක්ෂාව ගැන සෙවීම, පාරුවේ තත්ත්වය ගැන නිරන්තර සෝදිසිය මෙම කොන්දේසිවලට අයත් ය.
ගමන් යන්න වෙනත් පහසුකමක් නොමැති වීම නිසා එකවර පුද්ගලයින් 25, 30 ක් පාරුවේ ගමන් යාමට සිදුවිය.
එවන් පාරු ගමනක් ඊයේ අවසන් වුණේ, ඛේදවාචකයකිනි.
බෝට්ටුවක එළා තිබුණු දැරියන් කිහිප දෙනෙකුගේ පාසල් ඇඳුම් ඉතිරි වුණත් ඉන් කිරිකැටි දැරියන් දෙදෙනෙක් ගඟට බිලි වී ඇති බව පසුව හෙළිවිය.
Assistant monitor ගේ ඇඳුම හැමෝගෙම ඇස්වල රැඳුණා . ඇයට මොකද වුණේ?
Assistant monitor හෙවත් මීශා අභීශා අද අපේ ඇස් දෙකටම හමුවිය. ඒ ඇය කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
මීශා සමග 8 හැවිරිදි ෆාතිමා සරීන් සහ 6 හැවිරිදි ෆාතිමා සෆ්ලා පාසල් ගියාට ආයේ ආවේ නැහැ.
කින්නියා වැසියන් දැන් ඔවුන් ජීවත් වෙන්නේ කිසිදා අමතක කළ නොහැකි බියකරු මතකයක් එක්ක.
පාලමේ ප්‍රමාදය ගැන කිපී , මේ ජනතාව පළාතේ මන්ත්‍රී එම් එස් තවුෆික් මහතාගේ නිවසට පහර දෙන්නේත් ,හැඟීම් පාලනය කර ගැනීමට නොහැකිවයි.
මහා ඛේදවාචකයකට පසුව කින්නියා කුරිඤ්ඤං කර්නී කළපුවේ වෙනසක් නැහැ.
වෙනසකට තියෙන්නේ පාරුවක් නැති එකත්, පාරුකරු ඇතුළු තවත් දෙදෙනෙකු සිරභාරයට ගැනීමත් පමණයි.
නැතිවුණ ජීවිත වෙනුවෙන් වන්දියක් හෝ අවමඟුල් වැය දැරීමක් ගැන මෙතෙක් වාර්තා නොවේ.
ළමුන් ඛේදවාචකයකට ලක්වූ විට එය ජාතික ප්‍රශ්නයක් සේ සලකා අවශ්‍යතා වහා ඉටු කිරීමත්, විෂයභාර ඇමතිවරු ඉල්ලා අස්වීමත් දියුණු ප්රජාතන්ත්රවාදී රටවල සම්ප්රදායකි.
කින්නියා කළපුවේ ඛේදවාචකය සම්බන්ධයෙන් අපේ රටේ වගකිව යුත්තන්ගේ ප්‍රතිචාරය කුමක් ද?
https://www.youtube.com/watch?v=-wfUslOw0sc