COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට අධිතාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාලම හෙවත් 'කල්‍යාණි රන් පිවිසුම' අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.
කල්‍යාණි රන් පිවිසුම අද මෙලෙස ජනතා අයිතියට පත්කෙරුණේ, පස්වරු 6 ට පමණයි.
ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයාට අමතරව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදෙයිකි මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර කල්‍යාණි රන් පිවිසුම විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.
ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, පසුගිය රජය රටේ ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිදු ප්‍රමුඛත්වයක් නොදී රට පාලනය කිරීම නිසා පාස්කු ඉරිදා සිද්ධිය සිදුවූ බවයි.
''පාස්කු ප්‍රහාරය වෙන කොට කවුද මේ රටේ පාලනය කළේ, එදා අපි ශක්තිමත් ආරක්ෂක සේවාවක්, ශක්තිමත් බුද්ධි සේවාවක් ඇති කරලා තිබුණා. යුද්ධයෙන් පස්සෙත් කිසිම සිද්ධියක් නොවුණෙත් අන්න ඒ හින්දා. ඒ අය බලයට ඇවිත් බුද්ධි සේවාව නැති කරලා, රණවිරුවන් නැති කරලා, ඔවුන්ගෙ මානසිකත්වය කඩා දාලා රටේ ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම ප්‍රමුඛත්වයක් නොදී රට පාලනය කරන්නට ගිහින් පාස්කු ඉරිදා සිද්ධිය සිද්ධ වුණා''
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා කියා සිටියේ, එය ඉදිරි කටයුතු සඳහා පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි.
එහෙත් කඩිනමින් මෙය සිදු කිරීමට අවශ්‍ය නම්, පාර්ලිමේන්තු පනතකින් කොමිසම හෙළි කළ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ය.
''හැබැයි කඩිනමින්ම කරන්න ඕන නම්, අපිට පුළුවන් පාර්ලිමේන්තුවෙ පනතක් ගෙනල්ලා එහෙම කරලා තියෙනවා. මීට ඉස්සරවෙලා, වගකියන අයගෙ අයිතිවාසිකම් හෝසි කරලා දාන්න ඒ කරපු වැරදි තවත් මේ රටේ කරන්න නොදෙන අන්දමට ක්‍රියා කරන්න පුළුවන් අවශ්‍ය නම්, ඒක නම් ඉල්ලන්නෙ අපි ලෑස්ති ඒක කරන්න''
ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය ආණ්ඩුව සතු බව කියා සිටි ජනාධිපතිවරයා අවධාරණ කළේ, ඉල්ලීම් කරන විට ප්‍රවේශම් වන ලෙසයි.