''පස හැදෙන හැටි නොදන්න අයගේ උපදෙස් ඕන නෑ''

''මේක සාමූහිකයි. කවුරු හරි අනුගත නොවෙනවා නම්, ඒක ආත්මාර්ථකාමීත්වයක්''- කෘෂිකර්ම ලේකම්

by Staff Writer . 21-11-2021 | 8:49 PM

COLOMBO (NEWS1ST) :  තහනම් කරන ලද ද්‍රව්‍ය ඇතුළු ප්‍රමිතියෙන් යුතු ශාක පෝෂක යළි ගෙන්වීමට අවසරදී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා අද (21)ප්‍රකාශ කළේ ය.

හරිත කෘෂිකර්මය එක රැයින් ඇති කළ හැක්කක් නොවන බවත් ආන්දෝලනයට තුඩු දුන් යූරියා ද, මිල ඉහළ බැවින් ඒ වෙනුවට විකල්ප ද්‍රව්‍යයක් ගෙන ඒමට ඇති හැකියාව පිළිබඳව ද සොයා බලන බව ත් අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ගෙන්වීම සඳහා කුමන පොහොර වර්ග ද ප්‍රමුඛතා විදිහට හඳුනාගෙන තිබෙන්නේ? 

අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ, පොහෙර ගෙන්වීමේදී වාණිජ කෘෂිකර්මාන්තය සඳහා ප්‍රමුඛතාවක් දිය යුතු බවත් තේ, ලේකම්වරු ලෙස හිමි ආනයන අපනයන බලතල ප්‍රකාරව පොල් සහ රබර් සඳහා අවශ්‍ය පොහොර දැනටම ප්‍රසම්පාදනය කර අවශ්‍ය පරිදි ගෙනවන බවත් ය. ''විශේෂිත ඇග්‍රිකල්චර්, ප්‍රොටෙක්ටිව් ඇග්‍රිකල්චර්, ග්‍රින් හවුසස් මේ වගේ වීශේෂිත ඒවා සඳහා අවශ්‍ය ශාක පෝෂක සහ ශාක ආරක්ෂක සඳහා අවශ්‍ය ප්‍රිසයිට් ෆන්ගිසයිට් අපි ගෙනාවා. කැබිනට් එකෙන්. බඩ ඉරිඟු සඳහාත් මෙට්‍රික් ටොන් 5000 ක් ලබා දුන්නා. ඒ සඳහා ඉතුරු ප්‍රමාණය අපිට අවශ්‍ය දේ අපිට කියන්න කියලා තියනවා''

වී වගාවට මොකක්ද කරන්නේ ?

ලේකම්වරයා පැවසුවේ, වී වගාව සඳහා විශේෂයෙන් නැනෝ නයිට්‍රජන් ප්‍රමාණය තුළින් ලැබෙන පෝෂණයට අමතරව ලබා දීම සඳහා ඇමෝනියම් සල්පේට් හෝ සමාන යමක් ගෙන්විය යුතුව ඇති බවයි.
''යුරියා කියන පොහොර එහෙම නැත්තන් ඉහළ පෙළේ හයර් ඔඩර් එකක් මේ වෙලාවේ ගෙන්වීම ඉතා මිල අධිකයි. ඒක ගෙන්න අසීරු නිසා ඇමෝනියම් සල්පේට් හෝ මොකක් හරි එකක් කෝරිලේෂන් එකක්,ගවමන්ට් ටු ගවමන්ට් ඩීල් එකක් කරලා හරි, ඉහළ මට්ටමෙන් අපි ගෙන්න ඕන කියන එක තමයි එන්නේ. ඒ සඳහා තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ''
තහනම් කර තිබූ ඇතැම් පෝෂක ලයිසන් යන මට්ටමට නිවැරදි කරගෙන ක්‍රියාවලියට අනුගත වූ බව ද ලේකම්වරයා එහිදී සඳහන් කළේ ය. තව ද ලේකම්වරයා කියා සිටියේ, අවසනාවන්ත තත්ත්වයකට යාමට ඉඩ නොදී ඉතා ඉක්මනින් නිවැරදි මාවතකට පිවිසීම සඳහා වන වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බවයි.

මේ පොහොර ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කරනවාද ?

මුල්‍ය ප්‍රශ්නයක් ඇති නොවන්නේ, නම් ලියාපදිංචි සමාගම් හරහා අවම වශයෙන් අත්‍යාවශ්‍ය නිර්දේශිත පොහොර ගෙන්වීමට පියවර ගන්නා බවයි.

මහ කන්නයට මඩ පොහොර යෙදිය යුතු කාල සීමාව අවසන් වෙලා තිබෙන්නේ. යූරියා සහ බණ්ඩි පෙහොර තමයි දැන් අවශ්‍ය. දැන් එතරම් කඩිනමින් පොහොර ගෙන්වන්න පුළුවන්ද ?

මේ ඊට අමාත්‍යංශ ලේකම්වරයා දුන් පිළිතුරයි.
''වරදක් දුටුවා නම් අඩුපාඩුවක් වුණා නම්, අපි ද කළේ අරය ද කළේ මේයා ද කළේ කියන් නැතුව දැන් අපිට තමයි කරන්න තියෙන්නේ කියලයි අපි හිතන්නේ. කවුරු වරද කළත් .ඒ නිසා අපි උත්සහා කරනවා. ඒක පුළුවන් තරම් ඉක්මනින් මේ කරුණු නිවැරදි කරලා අපිට පුළුවන් දේ කරන්න. ගැටලුවක් ඇති නොවුණ හොත් අපි හිතනවා. මේ දේ සිදු වියයුතු දේ සිදුවිය යුතුයි කියන මතේ තමයි අපි ඉන්නේ . සිදුවිය යුතු දේ සිදු නොවිය යුතුයි කියලා කවුරු හරි මතේක ඉන්නවා නම් ඒ විද්‍යාත්මක නෑ''

කෘමිනාශක හා වල් නාශක සම්බන්ධයෙන් කොහොම ද ක්‍රියාත්මක වෙන්නේ ?

අවශ්‍ය කරන කෘමි නාශක, වල් නාශක, දිලීර නාශක අවශ්‍ය ප්‍රමාණවලින් ලබ ගැනීමට කටයුතු කරන බව ද ඔහු පැවසී ය.

තහනම් කළ පොහොර යළි ගෙන්වීම සාමූහික තීරණයක් ද?

තහනම් කරන ලද ද්‍රව්‍ය ඇතුළු ප්‍රමිතියෙන් යුතු ශාක පෝෂක යළි ගෙන්වීමේ තීරණය සාමුහික තීරණයක් බවත් ඊට කවුරුන් හෝ අනුගත නොවන්නේ නම්, එහි අත්තේ,  පරාර්ථකාමයකට වඩා ආත්මාර්ථකාමයක් බව ත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
''මේක සාමූහික තිරණයක්. මේකයි කවුරුත් කියනවා නම්, මේක වැඩපිළිවළ කඩාකප්පල් කිරීමක් කියලා . මං ප්‍රසිද්ධියේම අහනවා ඒ කියන කෙනාටම ප්‍රසිද්ධියේ අත උස්සලා ඒක කියන්න. කඩාකප්පල් වුණේ කොහොමද? කළේ කවුද? වෙන්නේ කොහොමද ? කියලා මම ප්‍රශ්න කරනවා. මටත් අයිතියක් තියනවා. කෘෂි විද්‍යාඥයෙක් හැටියට මේක සාමූහිකයි. ඒකට කවුරු හරි අනුගත වෙන්නේ නැත්තන්. ඒ පුද්ගලයගේ තියෙන්නේ පරාර්ථකාමයකට වඩා ආත්මාර්ථකාමයක්''
ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, මේ සම්බන්ධයෙන් පස සෑදෙන ආකාරය පිළිබඳ නොදන්නා අයගේ උපදෙස් හෝ  සිය වෘත්තීය අත්හැර අන් අයගේ වෘත්තීන් කරන අයගේ සහයෝගය අවශ්‍ය නොවන බවයි.
''එහෙම නැත්තන් මම තනියම බුදු වෙන්නම් මගේ බණ ඔගොල්ලෝ අහගන ඉන්න කියන එක. එහෙම එකක් නෑ. අපිට ඒකට පස හැදෙන්නේ කොහොමද කියන දන්නැති අයගේ උපදෙස් ඕන නෑ. එහෙම නැත්තන් තමන්ගේ වෘත්තීය අත ඇරලා අනුන්ගේ වෘත්ති කරන අයගේ සහයෝගය ඕනේ නෑ. මම හිතනවා අමාත්‍යාංශය දේපාර්තමේන්තුව මේ තියන සියලුම අය ඒක සමග ඉන්නවා''