දෙමටගොඩ රුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ..

දෙමටගොඩ රුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ..

by Staff writer 19-11-2021 | 4:40 PM

COLOMBO (News 1st) – ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි කියන දෙමටගොඩ රුවන් හෙවත් රුවන් චමිල සිරිනායක නැමැත්තා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (19) ප්‍රතික්ෂේප කළේ ය.

දෙමටගොඩ රුවන්ට එරෙහිව එම නඩුව ගොනු කර ඇත්තේ රුපියල් කෝටි ගණනක මුදල් හා දේපළ අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් ය. සැකකරු ලබන තුන්වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. මහේස්ත්‍රාත්වරයා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාට නියෝග කළේ , සැකකරුගේ නිවසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ කිලෝග්‍රෑම් එකහමාරකට අධික රන් ආභරණ තොගයේ මූල්‍ය වටිනාකම සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි. සැකකරුගේ බිරිඳගේ නමින් එක්තරා බැංකු ආයතනයක පවත්වාගෙන යන ඉතිරි කිරීමේ ගිණුමක රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක මුදලක් තැන්පත් කර ඇති බවත් තවත් බැංකු ගිණුම් දෙකක රුපියල් ලක්ෂ 74 ක මුදලක් තැන්පත් කර ඇති බවත් මේ දක්වා සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් හා දේපොළ විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේ ය. විමර්ශන නිලධාරින් අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසුවේ, සැකකරුට අයත් රන් ආභරණ කිලෝ තුනහමාරකට ආසන්න ප්‍රමාණයක් එක්තරා බැංකුවක උගසට තබා රුපියල් කෝටි එකහමාරක මුදල් ද ලබා ගෙන ඇති බවයි. හෙරොයින් ජාවාරමෙන් හෝ වෙනත් ආකාරයකින් අයුතු ලෙස උපයාගෙන ඇති සෙසු මුදල් හා දේපල සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුරටත් විමර්ශන සිදු කරන බව විමර්ශන නිලධාරීන් අධිකරණයේදී කියා සිටියේ ය.