by Staff Writer . 19-11-2021 | 7:38 PM
COLOMBO (NEWS1ST) : චීන පොහොර අර්බූදයට මොක ද වෙන්නේ?
චීනයේ චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගමේ කාබනික පොහොර තොගයට අදාළ ණයවර ලිපි සඳහා මුදල් ගෙවීම වළක්වමින් මහජන බැංකුවට පනවා තිබූ වාරණ නියෝගය ලබන 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ අද (19) නියෝග කළේ ය.
ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම චීන කබනික පොහොර ගනුදෙනුවට අදාළව ගොනු කළ නඩු දෙක අද නැවතත් සලකා බැලුවේ කොළඹ වාණිජ මහාධිකරණයේ විනිසුරුවරුන් වන ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේයි.
මෙම නඩුවට අදාළව චීන සමාගමේ දේශීය නියෝජිතයා විසින් අද ලිඛිත විරෝධතා ගොනු කරනු ලැබ තිබේ.
චීන කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා ඇතැයි මෙරට ශාක නිරෝධයන සේවය අවස්ථා දෙකකදී තහවුරු කිරීමත් සමග එම පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කළේ ය.
ඊට අදාළ විවෘත කළ ණයවර ලිපි සඳහා මුදල් ගෙවීම අත්හිටුවන නියෝගයක් ඉල්ලා රජයේ පොහොර සමාගම් 2ක කොළඹ වාණිජ මහාධිකරණයට ගියේ ඉන් අනතුරුවයි.
කෙසේ වෙතත් චීන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000 ක් රැගෙන පැමිණි නෞකාව තවමත් මෙරට මුහුදු සීමාව සමීපයේ රැඳී සිටී.
මේ අතර චීන කාබනික පොහොර පිළිබඳව මෙරට ජාතික ශාක නිරෝධායන සේවය සිදුකළ පරීක්ෂණ වාර්තා අභියෝගයට ලක්කිරීම පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ ඒකාබද්ධ තාක්ෂණික වෘත්තිය එකමුතුව අද (19) විරෝධය පළ කළේ ය.
කටුනායක පිහිටි ජාතික ශාක නිරෝධායන සේවයේ කාර්යාලය අසලින් පා ගමනක් ආරම්භ කළ ඔවුහු ගුවන්තොටුපළ මාර්ගය ඔස්සේ ගමන්කර යළි පැමිණ සිය විරෝධය පළ කළහ.
තම පොහොරවල ගුණාත්මකභාවය පිළිබඳ සිදුකළ පරීක්ෂණ අභියෝගයට ලක්කරමින් චීන පොහොර සමාගම මේ වනවිට ජාතික ශාක නිරෝධායන සේවයේ නිලධාරීන්ට එන්නතර වාසි ද එවා තිබේ.