by Staff Writer . 19-11-2021 | 6:47 PM
COLOMBO (NEWS1ST) : බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේදී අද (19) අවසන් විය.
විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම එම විත්තිකරු නිදහස් කරන ලෙසට අසාද් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඒ අනුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නේ ද නැද්ද යන නියෝගය ලබන මස 02 වැනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය විනිසුරු අමල් රණරාජා මහතා දින නියම කළේ ය.
තමන් ඇතුළු මුස්ලිම් ජාතිකයින් පිළිගනු ලබන්නේ කුරාණය මගින් උගන්වා ඇති නීතිය පමණක් බවත් රටේ පවත්නා නීතිය සම්බන්ධයෙන් තැකීමක් නොකරන බවත් පසුගිය මාර්තු 09 වැනදා පැවති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශය මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත අනුව ගැනෙන වැරදි සිදු කර ඇතැයි, පවසමින් නීතිපතිවරයා එම නඩුව පවරා තිබුණි.