by Staff Writer . 18-11-2021 | 9:17 PM
COLOMBO (NEWS1ST) : වනයේ සිටින අලි පැටවුන් ජාවාරම් කිරීම පිළිබඳව යළිත් වතාවක් සංවාදයට ලක්ව ඇත්තේ උඩවලව ජාතික වනෝද්‍යානය තුළදී කිසියම් පිරිසක් අලි පැටවෙකු බැඳ තබා තිබියදී හමුවීමේ සිදුවීමත් සමගයි.
එම අලි පැටවා ගලවා ගැනීමට හැකිවුවත් තවත් අලි පැටවෙකු අතුරුදන්වීම පිළිබඳව මේ වනවිට සැක මතුව තිබේ.
උඩවලව ජාතික වනෝද්‍යානයේ, පනහඩුව, පන්සල් කන්ද ප්‍රදේශයේ ගසක බැඳ දමා සිටි අලි පැටවා සොයා ගැනුණේ, ඉකුත් 10 වැනිදායි.
ඒ යුද හමුදා නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් සිදුකළ වැටලීමකිනි.
බේරා ගත් අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනේ සිට වනෝද්‍යානයට මුදාහැරි කළණ ලෙස හඳුනා ගැනිණ.
වන අලින්ගේ ගමන් මග පරීක්ෂා කෙරෙන GPS කොලරයක් ද කළණ බැඳ දමා සිටි ස්ථානය ආසන්නයෙන් හමුවී තිබුණි.
වනජීවී නිලධාරීන් පවසන පරිදි බැඳ දමා සිටියදී හමුවූ කළණ නමැති අලි පැටවා වනයට මුදාහරින අවස්ථාවේ කොලරයක් පළ දා තිබී නොමැත.
එසේ නම් මේ කොළරය වෙනත් අලි පැටවකුගේ ද?
කෙසේවෙතත් මේ අලි පැටවුන් සොරකම් කිරීමේ උත්සාහය පිටුපස සිටින පුද්ගලයින් තවමත් අනාවරණය වන්නේ නොමැත.
රටේ වටිනා වන සම්පතක් වන වන අලි ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කරගැනීමට වහා පියවර ගැනීම අවශ්‍ය නොවන්නේ ද?