අගමැති මහින්ද ජන්ම දිනය සමරයි..

අගමැති මහින්ද ජන්ම දිනය සමරයි..

by Staff writer 18-11-2021 | 7:00 AM

COLOMBO (NEWS1ST) : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(18) සිය ජන්ම දිනය සමරයි.

1945 වසරේ නොවැම්බර් 18 වැනිදා වීරකැටියේදී උපන් මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල, රිච්මන්ඩ් කොළඹ නාලන්ද හා තර්ස්ටන් විද්‍යාලවල ආදි සිසුවෙකි. නීතීඥයෙකු වන ඒ මහතා 1968 වසරේ බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරයට පත් විය. 1970 වසරේදී රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ, එවක ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසයි. 2002 වසරේ පෙබරවාරි 06 වැනිදා ඔහු එවක විපක්ෂ නායක ධූරයට පත් විය. ත්‍රස්තවාදය පරාජය කරමින් රටට සාමය උදාකර දුන් මහින්ද රාජපක්ෂ මහතා 2010 දෙවැනි වරටත් ජනාධිපති ධූරයට පත්වු අතර 2015 වසරේදී ජනමතයට ගරු කරමින් සිය ධුරයෙන් ඉවත් විය. එදා මැදමුලනට ගොස් කෙටි කලකින් නුගේගොඩින් හැමූ මහින්ද සුළඟ සමග ඔහු යළි කරළියට පිවිසියේ ය. ඒ ප්‍රවේශය නතර වුණේ, පොදුජන පෙරමුණ නමින් ප්‍රබල පක්ෂයක් බිහි කර, පළාත් පාලන ආයතන සියල්ල ජයගෙන, පාර්ලිමේන්තුවේ ප්‍රබල විපක්ෂයක් ගොඩනගා විපක්ෂ නායක ධූරයත්, ආණ්ඩුවක් තිබියදීත් හදිසියේ දින 52 කට අගමැතිධුරයත් අත්පත් කර ගනිමින් ය. අතෙන් පටන් ගත් දේශපාලනය නතර වුණේ පොහොට්ටුවෙන් ය. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමනි ! සුබ උපන්දිනයක් වේවා...