සැකකරුවෙකු මිය යාම: පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්

සැකකරුවෙකු මිය යාම: පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්..

by Staff writer 17-11-2021 | 2:42 PM

COLOMBO (News 1st): පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු සිර මැදිරිය තුළ ගෙල වැළලාගෙන මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පනාමුර පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

පොලිසිය සඳහන් කළේ 14 හැවිරිදි දැරියකට පහරදීමක් සම්බන්ධ පැමිණිල්ලකට අදාළව ඊයේ(16) රාත්‍රී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. අද දින අලුයම සැකකරු සිර මැදිරිය තුළ ගෙල වැළලා ගෙන සිටියදී පොලිස් නිලධාරීන් ඔහු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, වැල්ලපොතයාය පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු බීමතින් පැමිණි බිරිඳට සහ දරුවන්ට පහර දෙන බවට පනාමුර පොලිසියට මීට පෙර පැමිණිලි 07 ක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය. පොලිසිය සඳහන් කළේ , මියගිය පුද්ගලයා මත්පැන්වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවයි. දැනට කර ඇති පරීක්ෂණවලට අනුව සැකකරුට පහරදීමක් කර ඇති බවට අනාවරණ වී නොමැති අතර ඔහු සිර මැදිරිය තුළ සිටියදී පොලිස්ථානයේ රාත්‍රි රාජකාරීවල යෙදී සිටි නිලධාරින්ගෙන් යම් රාජකාරී පැහැර හැරීමක් සිදු කර ඇත්ද යන්න පිළිබඳ පරීක්ෂණ කරන බව පොලිසිය පැවසුවේ ය. මේ සම්බන්ධයෙන් සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරීවරයකුගේ සෘජු අධීක්ෂණය යටතේ ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. මේ පිළිබඳව නිව්ස්ෆස්ට් වාර්තාව... https://youtu.be/73w1x89eNK0