SJB විරෝධාවට කොළඹ එන පිරිස්වලට පොලීසියෙන් බාධා..

SJB විරෝධාවට කොළඹ එන පිරිස්වලට පොලීසියෙන් බාධා... (VIDEO)

by Staff Writer . 16-11-2021 | 11:46 AM

COLOMBO (NEWS1ST): 'සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය' නමින් සමගි ජන බලවේගය අද (16) පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවට සහභාගී වීම සඳහා කොළඹට පැමිණෙමින් සිටි සමගි ජන බලවේගයේ කණ්ඩායම් වැළැක්වීම සඳහා පොලීසිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

අප මේ සම්බන්ධයෙන් පොලීසි කිහිපයකින් විමසා සිටි අතර එහිදී ඇතැම් පොලිස් ස්ථාන කියා සිටියේ, සමගි ජන බලවේගය චෝදනා කරන පරිදි එවැනි වළක්වාලීම් සිදු නොකළ බවයි. කෙසේ වෙතත් ඇතැම් පොලිස් ස්ථාන සඳහන් කර සිටියේ, අදාළ බස් රථ පරීක්ෂා කරමින් ඔවුන්ගේ ගමනාන්ත පිළිබඳව විමසීම් සිදු කළ බවයි. සමගි ජන බලවේගය අද (16) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතාව සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වනවිට විවිධ නීතිමය ගැටලු ඉදිරිපත් කරමින් සිටි. එවැනි වටපිටාවක් තුළ සමගි ජන බලවේගය අද උදෑසන කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, සැලසුම් කළ පරිදි ම විරෝධතාව පවත්වන බවයි. සමගි ජන බලවේගය අද පස්වරුවේ, විරෝධතාවක් සැලසුම් කර ඇති බව පසුගිය දින කිහිපයේ ම නිවේදනය කළ අතර ඒ අනුව විරෝධතාව සම්බන්ධයෙන් පොලීසිය ඊයේ අධිකරණ කිහිපයකට කරුණු වාර්තා කරමින් වාරණ නියෝග ඉල්ලා සිටියේ ය. එහිදී ඇතැම් අධිකරණය එම වාරණ නියෝග ලබා දීම ප්‍රතික්ෂේප කළ අතර ඇතැම් අධිකරණ පොලීසියේ ඉල්ලීමට ඉඩ ලබා දුන්නේ ය. කෙසේ වෙතත් සමගි ජන බලවේගය ඊයේ දිනයේත් කියා සිටියේ, සැලසුම් කළ පරිදි අද (16) දිනයේ විරෝධතාව පැවැත්වෙන බවයි.