''රටේ තෙල් හිඟයක් නැහැ..'' - ගම්මන්පිල

''රටේ තෙල් හිඟයක් නැහැ..'' - ඇමති ගම්මන්පිල

by Staff Writer . 16-11-2021 | 5:36 PM

COLOMBO (NEWS1ST): අද ත් රට පුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම් දක්නට ලැබුණි.

ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල රැඳී සිටි ජනතාව පළ කළ අදහස් මේ...
- තෙල් කොහෙවත් නෑ.. ඊයේ රෑත් නෑ.. , අද උදේත් නෑ. රැයක් දවාලක් නැතුව මෙහෙට ඇවිල්ලා රස්තියාදු වෙනවා. ඔච්චරයි කරපු හපන්කම. අපිටම දෙයියන්ගේ පිහිටයි කියාගන්න තමයි වෙන්නේ. ආයෙත් එයිනේ කාලයක්, එතකොට බලාගමු. - තෙල් මෙහෙම අරන් යන්න වුණා. අපි දවසේ රස්සාව කරගන්නේ පෙට්‍රල් හින්දා. උදේ 5ට නැගිටලා ආවේ. ඡන්දෙත් දුන්නා, මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ. - ඩීසල් ගන්න ආවට ඩීසල් නෑ ඉතිං. මුකුත්ම කරගන්න විදියක් නෑ. - ඡන්දෙ දුන්නා පෝලිමේ, දැන් පෝලිමේ ඉන්නවා තෙල් ගන්න. තෙල් විතරක් නෙමෙයි අනිත් හැමදේම ගණන්.
මේ අතර අද (16) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ, රට තුළ තෙල් හිඟයක් නොමැති බවයි. ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් විවිධ බලවේග විසින් සිව්වන වරටත් ජනතාව රවටනු ලැබ  ඇතැයි, ද අමාත්‍යවරයා  එහිදී සඳහන් කළේ ය.
''පසුගිය මාස පහේදි හතරවෙනි වතාවටත් විවිධ බලවේග විසින් රටට කිව්වා. ඉන්ධන හිගයක් ඇතිවෙනවා කියලා. ඒ අනුව අපේ රටේ ජනතාව කොරෝනා අවදානම නොතකා, ගං වතුර අවදානම නොතකා, පෝලීම් ගැහිලා හිටියා. ඉන්ධන ටික සපයාගන්න''
විවිධ අභියෝග මැද මේ දක්වා අඛණ්ඩ ඉන්ධන සැපයුම තහවුරු කර ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,  ඉන්ධන හිඟයක් ඇති වන්නේ නම්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන බවයි. තව ද ඉන්ධන හිඟයක් ඇති නොවන බවට වග බලාගැනීම අමාත්‍යවරයා ලෙස සිය පළමු වගකීම බව ද ඔහු කියා සිටියේ ය.
''ඉන්ධන අපේ රටේ නිෂ්පාදනය වෙන්නෙත් නෑ. මිලදි ගන්න ඩොලර් ඇත්තෙත් නෑ. ගබඩා කරන්න පහසුකම් ඇත්තෙත් නෑ. ඒ සියලුම අභියෝගතා මැද අඛණ්ඩ ඉන්ධන සැපයුමක් අපි මේ දක්වාම තහවුරු කරලා තියනවා. එවැනි ඉන්ධන අර්බුදයක් ඇතිවෙනවා නම්, ඒ පිළිබඳව අපි ජනතාවට කල්තියා අනතුරු අඟවනවා''