පෝළිම් යුගය අවසන් කළ යුතුයි..,විපක්ෂ නායක ගෝල්ෆේස් වටරවුමේදී කියයි

by Staff Writer . 16-11-2021 | 8:26 PM

COLOMBO (NEWS1ST): සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාව සැලසුම් කළ පරිදි අද (16) කොළඹදී පැවැත්විය.

විරෝධතාව ආරම්භ වූයේ, විපක්ෂ නායක කාර්යාලය අසලිනි. ගෑස්, කිරිපිටි, සහල් හා එලවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ යාමත්,පොහොර නොමැතිවීම ඇතුළු ජනතාව මුහුණ පා ඇති දුෂ්කරතාත්, ආණ්ඩුවේ මර්දනයට එරෙහිවත් මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණි. 'සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය' විරෝධතාවේ තේමාවයි. කොල්ලුපිටිය මංසන්ධියට පා ගමනින් පැමිණි විරෝධතාකරුවෝ පසුව ගාලුමුවදොර වටරවුමට රැස්වූහ. පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටි පිරිස ඇමතී ය. මේ අතර සමගි ජන බලවේගයේ විරෝධතාවයට සහභාගීවීම සඳහා දුර පළාත්වල සිට කොළඹ බලා පැමිණි බොහෝ පිරිස්වලට ආපසු හැරී යන්නට සිදුවූ බවට වාර්තා විය. සමගි ජන බලවේග ක්‍රියාකාරීන් පැවසුවේ, පොලීසිය බාධා කිරීම ඊට හේතුවූ බවයි. සමගි ජනබලවේගයේ අනුරාධපුර පාක්ෂිකයින්ට නොච්චියාගමදී පොලීසිය බාධා කළේ ය. අනතුරුව ඔවුන් පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයෙන් පැමිණියත් අනුරාධපුර දිස්ත්‍රික් මායිම පසුකිරීමට රාජාංගණය පොලීසියෙන් අවසර ලබා නොදුන්නේ ය. මේ හේතුවෙන් පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති වූ අතර එම ස්ථානයට යුද හමුදාව ද කැඳවා තිබුණි. අප වාර්තාකරු පැවසුවේ, පැයකට පමණ පසුව තත්ත්වය පාලනය කෙරුණු බවයි. කොළඹ බලා පැමිණි සමගි ජනබලවේගයේ පිරිස බෙන්තර මන්සංධියේදී විරෝධතාවයක නිරත විය. ඒ ඔවුන්ට කොළඹට බලා යාමට බෙන්තර පොලීසිය අවස්ථාව නොදීමත් සමගයි. මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය ද සීමා විය. කුරුණෑගල හිරියාල ආසනයේ සිට පැමිණි සමගි ජන බලවේගයේ පිරිසට හිරිපිටිය නගරය පසුකර යාමට වැල්ලව පොලීසිය අවසර නොදීම නිසා හිරිපිටිය නගරයේදී පිරිස විරෝධතාවයක නිරත විය. හඟුරන්කෙත ආසනයෙන් පැමිණි පිරිස තලාතුඔය හා කටුගස්තොට පොලීසිය මැදිහත්ව නැවත හරවා යවා තිබේ. ඔවුහු හඟුරන්තෙක නගර මධ්‍යයේ විරෝධතාවයේ නිරත වූහ. මාතර - කතරගම ප්‍රධාන මාර්ගයේ පැමිණි තංගල්ලේ පාක්ෂිකයින්ටත් කොළඹ බලා පැමිණීමට අවස්ථාව දී නොමැත. අනතුරුව තංගල්ල්ලේදී එම පිරිස විරෝධතාවයේ නිරත විය. බෙලිඅත්තේ සිට පැමිණි පිරිසටත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමෙන් යෑමට ඉඩ නොලැබිණ. විරෝධතාවයට සහභාගී වීම සඳහා අද උදෑසන හම්බන්තොට සිට කොළඹ බලා පිටත් වූ බස් රථ හම්බන්තොට දක්ෂිණ ලංකා අධිවේගී මාර්ග පිවිසුමේදී නතර කෙරුණි. ඒ හම්බන්තොට , ලුණුගම්වෙහෙර පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙනි. මත්තල පිවිසුමෙන් පැමිණි සමගි ජන බලවේගයේ තිස්සමහාරාම ආසන සංවිධායක එස්. තෙන්නකෝන් නිලමේ මහතා ඇතුළු පිරිසට ද කොළඹට පැමිණීමට අවසර නොලැබුණි. සමගි ජනබලවේගයේ වැලිගම ප්‍රධාන සංවිධායක රෙහාන් ජයවික්‍රම මහතා ඇතුළු පිරිසටත් අධිවේගී මාර්ගයේ කොක්මාදූව පිවිසුමෙන් ඇතුළු වීමට අවසර හිමි නොවී ය. ඔවුන් ඉමදූව පිවිසුමෙන් කොළඹ බලා පැමිණීමේදී ද පොලිසිය බාධා කළ අතර පසුව අලුත්ගම දක්වා ගිය පිරිස එම ස්ථානයෙන් ද හරවා යවා තිබුණි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සහ ආධාරකරුවන් රැගත් බස් රථය බණ්ඩාරගම කැස්බෑව ප්‍රධාන මාර්ගයේ කිඳෙල්පිටිය මන්සන්ධියේදී බණ්ඩාරගම පොලීසිය විසින් නතර කරනු ලැබිණ. සමගි ජන බලවේගයේ අගලවත්ත ආසන සංවිධායක ජගත් විතාන මහතා ඇතුළු පිරිස කළුතර පාලම අසලදී පොලීසිය නතර කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති විය. පසුව ඔවුහු විරෝධතා පා ගමනකින් කළුතර උතුර දක්වා පැමිණියහ. ඌව සහ සබරගමුව පළාත් මායිම්වන හල්දුම්මුල්ල මරංගහවෙල ප්‍රදේශයෙන් ද කොළඹ දෙසට පැමිණීම සඳහා සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන්ට අවස්ථාව හිමි නොවීය. එම අවස්ථාව ආවරණය කළ මාධ්‍යයට ද පොලීසිය බාධා කළේ ය. නිකවැරටිය ආසනයේ පිරිසට ද කොළඹ පැමිණීමට අවස්ථාව නොලැබිණ. එම නිසා ආසන සංවිධායක විශ්‍රාමික මේජර් ජෙනරල් සුමිත් අතපත්තු මහතා ඇතුළු පිරිස කොබෙයිගනේදී විරෝධය පළ කළේ ය. සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් ආසන සංවිධායක අශෝක සේපාල මහතා ඇතුළු පිරිස ද විරෝධය පළ කළේ, හැටන් නගරයේදීයි. ඒ ඔවුන්ට ද කොළඹ පැමිණීමට නොහැකි වීම නිසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා විසින් සංවිධානය කළ විරෝධතාවක් මාවතගම සමගි ජනබලවේග කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණ. මහනුවරින් විරෝධතාවයට පැමිණෙමින් සිටි පිරිස් බෝගම්බර බන්ධනාගාරය අසල දී මහනුවර පොලීසිය විසින් නැවත හරවා යවනු ලැබී ය. කොළඹට පැමිණීමට නොහැකි වූ පිරිස් විරෝධය පළ කළේ, වාරියපොල නගරයේදී ය. කොළඹ - කළුතර දිස්ත්‍රික් මායිමේ පිහිටි පානදුර මාර්ග බාධකයේදී කොළඹ දෙසට ඇතුළුවන සියලුම බස් රථ අද පරීක්ෂාවට ලක්කෙරුණි. ඒ පානදුර දකුණ පොලිසියේ මැදිහත්වීමෙනි. නුගේගොඩ ගුවන්පාළම අසලදී හයිලෙවල් මාර්ගයේ පැමිණෙන බස් රථ ද පරීක්ෂා කෙරිණ. අරගංවිල ප්‍රදේශයේදීද කොළඹට පැමිණෙන සමගි ජන බලවේගයේ කණ්ඩායම් හරවා යැවිය. පොළොන්නරුව මනම්පිටිය සහ කදුරුවෙළදීද ජනතාව හරවා යැවීම සිදු විය. මේ අයුරින් දිවයිනේ ප්‍රදේශ රැසකදී අද පොලීසිය මාර්ග බාධක යොදා කොළඹට පැමිණෙන රථ වාහන පරීක්ෂා කළේ ය.