''පහත් ක්‍රියාව වහාම නතර කරන්න'' - විපක්ෂ නායක

ජනතා දුක කියන්න දෙන ඉඩ වළක්වන්නේ ඇයි...? - විපක්ෂ නායක

by Staff Writer . 16-11-2021 | 12:52 PM

COLOMBO (NEWS1ST): රටේ ජනතාවට තමන් මුහුණ දී සිටින ආර්ථික, සමාජ ගැටලු රටේ විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කිරීමේ නිදහසක් නැතිදැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටී.

සමගි ජන බලවේගය අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවට සහභාගී වීම සඳහා කොළඹට පැමිණෙමින් සිටි ජනතාවට විවිධ ප්‍රදේශවලදී පොලීසියෙන් බාධා එල්ල වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවමින් විපක්ෂ නායකවරයා මේ බව විමසා සිටියේ ය. විපක්ෂ නායකවරයා එහිදී වැඩි දුරටත් ප්‍රශ්න කර සිටියේ, රටේ ජනතාවගේ භාෂණයේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි කරන්නේ ඇයි ද යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක සිවිල්, දේශපාලන අදී සියලු අයිතිවාසිකම් ඇති බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා කියා සිටියේ, මෙය පොලිස් රාජ්‍යයක් නොව ස්වෛරී රටක් බවයි.
''ඊයෙ දවසෙ පොලීසි රාශියක නිලධාරීන් ගැවසුණේ තමන්ගේ රාජකාරි කටයුතුවල නෙවෙයි. උසාවිවල තහනම් නියෝග ගන්න. මම කැමති නෑ මේ රටේ පොලීසිවලට, ආරක්ෂක අංශවලට නිග්‍රහ කරන්න. දැන් හැමෝ ම දන්නවා නේ ඇති වුණ ප්‍රතිඵලය අධිකරණ කීයක් ප්‍රතික්ෂේප කළා ද?''
ජනතාවට මෙලෙස බාධා කිරිම ඉත් පහත් ක්‍රියාවක් බව සඳහන් කළ විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ, ජනතාව පීඩනයට ලක් කිරීම, බාධා කිරීම වහාම නතර කරන ලෙසයි. මේ අතර පසුව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අදහස් පළ කරමින් කියා සිටියේ, පොලීසිය සිදු කරන්නේ, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පමණක් බැවින් නිකරුණේ, පොලීසියට දෝෂාරෝපණය කිරීමෙන් වළකින ලෙසයි. රටට අංශු මාත්‍රයක හෝ ආදරයක් තිබේ නම්, විපක්ෂ නායකවරයා හා විපක්ෂය කළ යුත්තේ, ආණ්ඩුව සමග එකතු වී වෛරසය විනාශ කරනවා, මිස වෛරසය සමග එක්ව ආණ්ඩුව විනාශ කිරීම නෙවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.