වැසි සහිත කාලගුණය තවදුරටත්... - කාලගුණෙන් අනාවැකි

වැසි සහිත කාලගුණය තවදුරටත්... - කාලගුණෙන් අනාවැකි

by Staff Writer . 15-11-2021 | 8:07 PM

COLOMBO (NEWS1ST): වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 18 වැනිදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, සහ උතුරු පළාත්වලත් ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර ,සබරගමුව ,මධ්‍යම සහ වයඹ පළාත්වලත් , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පසුගිය දින කිහිපයේ අධික වර්ෂාවෙන් බලපෑම් එල්ල වූ දිස්ත්‍රීක්කවලට ඉදිරි දිනවලදීත් සැලකිය යුතු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවයි. කාලගුණ අනාවැකියට අනුව අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් දක්වා තද සුළං ඇතිවිය හැකියි. එබැවින් බහුදින ධීවර යාත්‍රා මඟින් ධීවර කටයුතුවල නිරත නොවන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෑගල්ල, කළුතර, මහනුවර ,කුරුණෑගල , මාතලේ , නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්වලට නිකුත් කළ නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය හෙට පස්වරු 4 දක්වා දිර්ඝ කෙරිණ. මේ අතර නාය යෑමේ අවදානම හේතුවෙන් පහළ කඩුගන්නාවෙන් තාවකාලිකව වසා දැමූ කොළඹ – නුවර මාර්ගය නැවත දනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ. මීරිගම හා විජය රජදහන අතර 30 වැනි සැතපුම් කනුව ආසන්නයේ සිදුවූ ගිලාබැසීමෙන් ඇණහිට තිබූ ප්‍රධාන මාර්ගයේ එක් මං තීරුවක දුම්රිය ධාවනය තාවකාලිකව යථා තත්ත්වයට පත්කර තිබේ. තාවකාලික පාලමක මතින් පස්වරුවේ කොළඹ සිට පොල්ගහවෙල දක්වා දුම්රියක් ධාවනය කිරීමට කටයුතු කළේ ය. අනෙක් මංතීරුවේ යථා තත්ත්වයට පත්කීරිම තවදුරටත් සිදුවේ. මේ ආපදාව සිදුවී අදට දින හතකි. අපේ රටේ ප්‍රදේශ ගණනාවක විපතට පත්වූ අපේම ජනතාව සොයාගෙන ගම්මැද්ද සහන යාත්‍රාව සතියක් ඇතුළත පස්වැනි දිනයටත් ඔවුන්ට පිහිටක් වීම සඳහා පිටත්ව ගියේ ය. ගම්මැද්ද සහන යාත්‍රාවට මේ ආකාරයෙන් අපේ ජනතාවට පිහිට වීමට හැකිව තිබෙන්නේ ඔබේ කරුණාව නිසයි...