CID රැඳවූම් භාරයේ සිටි රියාජ් බදියුදීන් මුදා හැරේ

මාස 7 ක් රැඳවූම් භාරයේ සිටි රියාජ් බදියුදීන් මුදා හැරේ

by Staff Writer . 15-11-2021 | 5:42 PM

COLOMBO (NEWS1ST):  මාස 7 ක කාලයක් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා ගෙන සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා දැඩි ඇප කොන්දේසි පනවා රැඳවුම් භාරයෙන් මුදා හැරිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) නියෝග කළේ ය.

කොළඹ මහ නගර සභා සීමාවෙන් පිටතට යාම තහනම් කරමින් සෑම මසකම පළමු හා තුන්වැනි ඉරිදා දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමේ කොන්දේසියට යටත්ව එම නියෝගය නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ මහ නගර සභා සීමාවෙන් පිටතට යන්නේ නම් ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාගේ අවසරය ගත යුතු බවට ද නියෝග කර සිටියේ ය. විදේශගත වීමක් කරන්නේ නම්, ඒ සඳහා අධිකරණයේ අවසරය ලබා ගත යුතු බවට ද විජිත් මළල්ගොඩ,මූර්දු ප්‍රනාන්දු හා ගාමිණි අමරසේකර යන විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේ ය. රියාජ් බදියුදීන් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධ විවාදය ලබන වසරේ මැයි 10 වැනිදා ආරම්භ කිරීමට ද විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේ ය.