SJB විරෝධතාව හෙට සැලසුම් කළ පරිදි..

පොලීසිය වාරණ නියෝග ඉල්ලයි: සැලසුම් කළ පරිදි විරෝධතාව පවත්වන බව සමගි ජනබලවේගය කියයි..

by Staff Writer . 15-11-2021 | 12:23 PM

COLOMBO (News 1st): සමගි ජන බලවේගය හෙට(16) පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතා ව්‍යාපාරය වළක්වන්නැයි ඉල්ලා පොලිස් ස්ථාන කිහිපයක් අද(15) අධිකරණවලින් ඉල්ලීම් කළේය.

කෙසේ වෙතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හා ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර සිටියේය. කෙසෙල්වත්ත පොලීසිය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතායි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ උපමානවලට අනුව එම උද්ඝෝෂණය පැවැත්වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මේ අතර සමගි ජන බලවේගයේ හෙට පැවැත්වෙන විරෝධතාව වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරයා අද ප්‍රතික්ෂේප කළේය. පොලීසිය ගල්කිස්ස අධිකරණයට මෙම ඉල්ලීම කළේ ගල්කිස්ස අධිකරණ බල ප්‍රදේශයේ 16 ජන බලය ලෙස නම් කළ විරෝධතා රැළියක් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් පැවැත්වීමට කටයුතු කරන බවට හා එම රැස්වීමට ත්‍රස්තවාදී හෝ මොනයම් සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල විය හැකි බවට කරුණු වාර්තා කරමිනි. එය අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරිවරයා මෙම ඉල්ලීම කළ අතර ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා හා දෙහිවල පොලිස් ස්ථානාධිපති එල්.එච්. දුෂ්මන්ත යන මහත්වරුන් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සංජය එල්.එම්. විජේසිංහ මහතා ඉදිරියේ කරුණු දක්වනු ලැබුවේය. කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතිකෂේප කළේය. මේ අතර තලංගම සහ මාලඹේ, පොලිස් ස්ථාන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද, මිරිහාන පොලීසිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සමගි ජන බලවේගයේ හෙට පැවැත්වෙන උද්ඝෝෂණය පැවැත්වීම වලක්වමින් වාරණ නියෝග ලබාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛනය පදනම් කරගෙන එම වාරණ නියෝග ලබාගත් බවය. https://youtu.be/UmRtQTNjX1c