කෝටි 18ක කොකේන් ගෙනා විදේශිකයා අත්අඩංගුවට

කෝටි 18ක කොකේන් ගෙනා විදේශිකයා අත්අඩංගුවට

by Staff Writer . 15-11-2021 | 11:12 PM

COLOMBO (NEWS1ST): රුපියල් කෝටි 18 ක වටිනාකමකින් යුත් කොකේන් තොගයක් සමග ටියුනීසියානු ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසුවේ, කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 527 ක් එහිදී සොයා ගත් බවයි. නීතිවිරෝධී ලෙස තම අත් බෑගය තුළ සඟවා ගෙන 59 හැවිරිදි සැකකරු මෙම මත්ද්‍රව්‍ය රැගෙනවිත් තිබේ. මේ වනවිට අදාළ පුද්ගලයා සහ ඔහු රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දීමට පියවර ගත් බව රේගුව සඳහන් කළේ ය. මේ අතර රුපියල් මිලියන 24කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු තලෙයිමන්නාරමේදී අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03 ග්‍රෑම් 100ක ප්‍රමාණයක් හමුවූ බවයි. තලෙයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක තිබී එම මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබේ.