by Staff Writer . 14-11-2021 | 10:23 PM
COLOMBO (NEWS1ST): රාජ්‍ය සේවකයින්ට කළ අපහාසය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14)නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.
රාජ්‍ය සේවය රටට උසුලන්නට දරන්න බැරි තරම්, පුළුල් වී ඇති බවත් එය , රටට බරක් බවත් මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය, ආණ්ඩුවේ ස්ථාවරය ලෙස විපක්ෂය විශ්වාස කරන බවත් එම ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ සඳහන් ය.
ආණ්ඩුව නියමින් හෝ අනියමින් සූදානම් වන්නේ මෙරට රාජ්‍ය සේවය දියකර හැරීමට බව විපක්ෂ නායකවරයා නිවේදනයෙන් පෙන්වා දෙයි.
රාජ්‍ය සේවයේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 65 දක්වා ඉහළ නංවන බවට ජනප්‍රිය යෝජනාවක් අයවැයට ඉදිරිපත් කරන අමාත්‍යවරයා, ඊට පසුගියදා ම මෙරට රාජ්‍ය සේවය රටට බරක් බව පැවසීම තමන් විසින්ම ඉදිරිපත් කරන මතය ඊට පසු දින තමන් විසින්ම උල්ලංඝණය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
මැතිවරණයන් අවස්ථාවලදී කූඨප්‍රාප්තියට නංවා පූජාසනයක හිදුවන රාජ්‍ය සේවකයින්ට, ස්වකීය අරමුණ ඉටු කර ගැනීමෙන් පසු ආණ්ඩුව විසින් මෙලෙස සැලකීම පිළිබඳව විමතියට පත් නොවන්නේ, එය මේ කලගුණ නොදත් ආණ්ඩුවේ ස්වරූපයම නිසා බව එම නිවේදනයේ සඳහන් ය.