රාජ්‍ය කඨින මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය කඨින මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

by Staff Writer . 14-11-2021 | 11:15 PM

COLOMBO (NEWS1ST):  රාජ්‍ය කඨින පුණ්‍ය මහෝත්ස්වය පඩුවස්නුවර රාජධානිපුර ඓතිහාසික කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (14) පැවැත්විණ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. කඨින චීවරය පඩු පෙවීම , පඩු ගල්වනයට ඖෂධ එක් කිරීම හා පඬු බඳුන සඟ සතු කොට පූජා කිරීම සිදු කරනු ලැබුවේ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසිනි. පඬු පෙවූ කඨින චීවරය ජනාධිපතිවරයා විසින් පෙරහරින් වැඩම කරවා සඟ සතු කොට පූජා කරනු ලැබුණි. අනතුරුව දහවල් දානය පිළිගැන්වීම සිදුවුණේ ජනාධිපතිවරයා ප්‍රමුඛ මැති ඇමතිවරුන් විසිනි. කොළඹගම ශ්‍රී මියුගුණාරාම විහාරස්ථානයේ පූජා භූමි අක්තපත්‍රය බුද්ධශාසන කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා කියවනු ලැබීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වයඹ මහා දිසාවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික තිස්සව රාජමහා විහාරාධිපති මුගුණුවටවන සිද්ධත්ත නාහිමියන්ට පිළිගැන්වී ය. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් බුදුපුත් මාපිය හරසර ජාතික වැඩපිළිවෙළ සමාරම්භය සනිටුහන් කරමින් සම්බුදු සසුනට කුළ දරුවන් පූජා කළ දෙමව්පියන් හය දෙනෙකුට හැඳුනුම්පත් ලබාදීම ද ජනාධිපතිවරයා අතින් මෙහීදී සිදු කෙරිණ. විහාර භූමියේ පිහිටි පුරාණ විෂ්ණු දේවාලයේ වතාවත්වලට ද ජනාධිපතිවරයා එක්විය. බත් ගසට පණ දෙමු මැයෙන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත ගිනි වරකා පැළ දස ලක්ෂයක් සිටුවීමේ වැඩසටහන සමාරම්භය ද මෙහිදී සිදුකෙරුණේ, ජනාධිපති ගෝභාඨය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.