පොහොර තොගය යළි පරීක්ෂා කිරීමේ එකඟතාවක්

පොහොර තොගය 3 වැනි පාර්ශවයකින් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාව එකඟ වූණා - චීන තානාපති

by Staff Writer . 14-11-2021 | 6:16 PM

COLOMBO (NEWS1ST):  උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවීන් සහිත බවට දෙවරක් සහතික කරන ලද චීන පොහොර තොගය 3 වැනි පාර්ශවයක් මගින් යළි පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇතැයි, මෙරට චීන තානාපති කියයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොන්ග් මහතා මේ බව පැවසුවේ, අද (14) පස්වරුවේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුවයි. මාධ්‍යට අදහස් දක්වමින් තානාපතිවරයා සඳහන් කළේ, වාණිජ ආරවුලක් පමණක් වන කාබනික පොහොර ගැටලුව ඇතැමුන් දේශපාලනීකරණය කර ඇති බවත් ඊට අදාළව බොරු ගෙතීම් සිදුවන බව ත් ය.
''මට දැනගන්න ලැබිලා තියනවා. අදාළ චීන සමාගම සහ ශ්‍රී ලංකාවේ අධිකාරීන් මේ වෙනකොට යම් එකඟතාවකට ඇවිත් තිබෙනවා. තුන්වෙනි පාර්ශවයක් හරහා මේ පොහොර පරීක්ෂා කරනන්න''

ආන්දෝලනාත්මක චීන පොහොර නැව මෙරට මුහුදු තීරයේ රැඳීසිටීම නීත්‍යනුකූල ද?

ඊට රජයේ අනුමැතිය තිබේ ද?

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ, නීතිමය කටයුත්තක් නොමැති නම්, ඕනෑම නෞකාවකට මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට හැකි බවයි.
''නැවට අවශ්‍ය පහසුකම් සැපයීම අපේ වගකීම  ජාත්‍යන්තරව බැදීම්වලට අපි බැදිලා ඉන්නවා .මට රජයෙන් පැහැදිලි ලෙස මේ පොහොර ටික සුදුසුයි කියලා ප්‍රමිතිය හරියි කියලා ලබාදුන්නොත් විතරයි කොළඹ වරායෙන් පොහොර ටික ගොඩ බාන්න සුදානම් කරන්නේ''
කෙසේ වෙතත් ඉදිරියේදී විෂභාර අමාත්‍යවරයා ලෙස තමන් රජය ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
''දැනට රජය කියලා තියෙන්නේ ප්‍රමිතියක් නැහැ කියලා හැබැයි දැන් ඒ සම්බන්ධයෙන් කථිකාවතක් ඇති වෙලා තියනවා. ඒ කථිකාව තුළ මම විෂයභාර ඇමතිවරයා හැටියට ක්‍රියා කරන්නේ රජය මට දෙන උපදෙස අනුව''
අමාත්‍යවරයා කළුතරදී මේ අදහස් පළ කරන විටත් උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවීන් අන්තර්ගත පොහොර තොගය සහිත හිපෝ ස්ප්‍රිට් නෞකාව ද නැංගුරම්ලා කළුතරට ආසන්න මුහුදු සීමාවේ නැංගුරම් ලා තිබුණි. කැලිඩෝ වෙරළේ සිට නාවික සැතපුම් 11.8 ක් දුරින් මෙම නෞකාව නැංගුරම්ලා ඇත්තේ දැනට දින කිහිපයක සිටයි. පසුගිය දින කිහිපයේ එම නෞකාව විටින් විට එහා මෙහා ගමන් කරමින් තිබුණි. කෙසේ වෙතත් මෙම නෞකාවේ තිබෙන පොහොර තොගය සම්බන්ධයෙන් තවමත් කෘෂිකර්මන්ත අමාත්‍යංශයේ තීරණයේ වෙනසක් සිදුව නොමැති බව අප කළ විමසීමකදී එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර අහිතකර ක්ෂුද්‍රජීවීන් සහිත පොහොර නැව පරමාණු බෝම්බයකටත් වඩා භයානක බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසයි. මේ අතර අහිතකර ක්ෂුද්‍රජීවීන් සහිත පොහොර නැව පරමාණු බෝම්බයකටත් වඩා භයානක බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසයි. එහි කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරන්නේ, මෙම සිදුවීමේදී ආණ්ඩුව කළ යුත්තේ, රටේ විද්‍යාඥයින්ගේ පාර්ශවය ගැනීම මිස චීන සමාගම වෙනුවෙන් පෙනී සිටීම නොවන බවයි. ''මේක කොතනකින් හරි මේ රට ඇතුළට ආවොත් එහෙම මේකේ තියන භයානකත්වය කොරෝනා වසංගතයටත් වඩා අතිභයානක තත්ත්වයක් නිර්මාණය වෙන්නෙ, තව අවුරුදු සිය දහස් ගාණක් යනකම් මේකේ බලපැමෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ. ආණ්ඩුව හිටගන්න ඕන අපේ විද්‍යාඥයෝ එක්ක එහෙම නැතුව ආණ්ඩුව හිටගන්න එක වැරදි අර චීන සමාගමත් එක්ක''