by Staff Writer . 12-11-2021 | 10:45 PM
COLOMBO (NEWS1ST): සමගි ජන බලවේගය 16 වැනිදා රට පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති දැවැන්ත උද්ඝෝෂණ මාලාව පැවැත්වීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි, කෙසෙල්වත්ත පොලීසිය අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාගෙන් ඉල්ලීමක් කළේ ය.
පොලීසිය මෙම ඉල්ලීම සිදු කළේ, පසුගිය 9 වැනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් ප්‍රතිපාදන මෙම උද්ඝෝෂණය මගින් උල්ලංන බව පවසනමිනි.
එම උද්ඝෝෂණ මාලාව පැවැත්වීමෙන් මේ වනවිට අඩපණ වෙමින් පවතින කොවිඩ් වසංගතය නැවතත් රටපුරා පැතිර යාමේ තර්ජනයක් මතුවිය හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් අනුව කෙසෙල්වත්ත පොලිසිය මෙම ඉල්ලීම සිදු කර තිබේ.
කෙසෙල්වත්ත පොලීසිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් මහතා කරුණු දක්වමින් රට විවෘත කර සති දෙකක් වැනි කාලයක් ගතවී තිබියදී එවැනි දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමෙන් රට පුරා කොවිඩ් වසංගත රෝගය ව්‍යාප්ත වීමේ ඉඩකඩ බහුල වන බැවින් එය පැවැත්වීම වළක්වන්නැයි, අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
කෙසේ නමුත් එම කරණු දැක්වීමේ අධිකරණය හමුවේ වාර්තා ගත කිරීමට පැවති අපහසුතාව නිසා එම ඉල්ලීම ලබන 15 වැනිදා විවෘත අධිකරණය හමුවේ කරන ලෙසට පැමිණිල්ලට දන්වා සිටි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදිනට ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබා දෙන බව ද කියා සිටියේ ය.