by Staff Writer . 12-11-2021 | 10:34 PM
COLOMBO (NEWS1ST): යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු 40% ක කොටස් අමෙරිකානු නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගමට විකිණීම හා LNG කොන්න්‍රාත්තුව පවරාදීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි, ඉල්ලා ගොනු කළ පෙත්සම් සලකා බැලීමට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතිපතිවරයා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්ශානා ජමීර් මහත්මිය අධිකරණය හමුවේ එම ඉල්ලීම කළේ, මෙය ජාතික වැදගත්කමක් සහිත කරුණක් බව පෙන්වා දෙමිනි.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් , සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර , ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි තාක්ෂණ සංගමයේ මහලේකම් රංජන් ජයලාල් යන පෙත්සම්කරුවන් ගොනු කර තිබු පෙත්සම් 3 ක් බුවනෙක අලුවිහාරේ , එච්. එම්. ඩී. නවාස් සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවීය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා ඉල්ලා සිටියේ මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කෙටි කාල සීමාවක් තුළ කැඳවන ලෙසයි.
දිර්ඝ දිනයක් නියම කරන්නේ නම් පෙත්සමට පාදක වූ කරුණු සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරි පියවර නොගන්නා බවට වගඋත්තරකාර අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයාගෙන් එකඟතාවයක් ලබාගන්නා ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය.
ඒ අනුව එම පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 26 වැනිදා යළි කැඳවීමට දින නියම කළ විනිසුරු මඩුල්ල පුර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසට නීතිපතිවරයා කළ ඉල්ලීම පිළිබඳව අගවිනිසුරුවරයාගේ අවධානය යොමු කිරීමට පියවර ගන්නා බව දැනුම් දුන්නේ ය.