පහළ කඩුගන්නාව මගහැර යන්න විකල්ප මාර්ග 04ක්

කොළඹ - නුවර පාර පහළ කඩුගන්නාවෙන් තවදුරටත් වැසෙයි: පොලීසියෙන් විකල්ප මාර්ග 04ක්

by Chathuranga Rajapaksha 12-11-2021 | 6:30 PM

COLOMBO (News 1st): කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාම පිළිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), මාර්ග සංවර්ධන අධිකාරිය හා අනෙකුත් විශේෂඥයන් එක්ව ක්ෂේත්‍ර පරීක්ෂාව අද(12) දිනයේත් සිදු කරනු ලැබ තිබේ.

ඒ අනුව, එම ආයතන ලබා දෙන තීරණය මත නැවත මාර්ග විවෘත කරනු ලබන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. නායයෑමේ අවදානමක් හේතුවෙන් පෙරේදා(10) රාත්‍රි 10.00 සිට කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණි. මාර්ගය පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂාව දිනපතා උදෑසන 10.00ට සිදු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. තවද, පවතින කාලගුණික තත්ත්වය අනුව මාර්ගය භාවිතා කිරීම සම්බන්ධව මාර්ගෝපදේශ ලබා දීමට කටයුතු සිදුකරනු ලබන අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙහි උපදෙස් මත මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මෙම මාර්ගයෙහි ආරක්ෂාව තවදුරටත් තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය ස්ථිර විසඳුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි. පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ - මහනුවර මාර්ගය වසා දමා ඇති බැවින් පහත සදහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි. 01. අඹේපුස්ස - කුරුණෑගල - කටුගස්තොට - නුවර මාර්ගය 02. කෑගල්ල - පොල්ගහවෙල - කුරුණෑගල - කටුගස්තොට - නුවර මාර්ගය 03. මාවනැල්ල - රඹුක්කන - හතරළියැද්ද - ගලගෙදර - නුවර මාර්ගය 04. මාවනැල්ල - හෙම්මාතගම - ගම්පොළ - පේරාදෙණිය - නුවර මාර්ගය