කොළඹ - නුවර ගමනාගමනයට විකල්ප මාර්ග

කොළඹ - නුවර ගමනාගමනයට විකල්ප මාර්ග

by Sagarika Chathumali 11-11-2021 | 8:08 AM

COLOMBO (NEWS1ST): නායයෑම් පිළිබඳ අවදානමක් හේතුවෙන් , මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය ඊයේ (10) රාත්‍රී සිට පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

පොලීසිය පවසන්නේ, ඒ අනුව කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන වාහනවලට අඹේපුස්ස හන්දියෙන් හැරී කුරුණෑගල, මාවතගම, ගලගෙදර, කටුගස්තොට හරහා මහනුවරට ගමන් කිරීමට හැකි බවයි. ඊට අමතරව රථවාහනවලට මාවනැල්ල නගරයේ එස් ඕ හන්දියෙන් දකුණට හැරී හෙම්මාතගම මාර්ගයේ හෙම්මාතගම, අම්බුළුවාව, ගම්පොළ, පේරාදෙණිය හරහා මහනුවර ගමන් කිරීමේ හැකියාව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මහනුවර සිට කොළඹ දක්වා පැමිණන වාහනවලට ද එම මාර්ගයන් ම භාවිත කළ හැකි බවයි. කඩුගන්නාව පලතුරු වෙළඳසල් පිහිටි ප්‍රදේශය නායයාමේ අවදානමකට ලක්ව තිබීම හේතුවෙන් මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය ඊයේ රාත්‍රී 10 සිට පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ පස්වරුවේ තීරණය කළේ ය. මේ අතර පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කාලගුණික තත්ත්වය පහව යන තුරු අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ගමන්බිමන් සීමා කරන ලෙසයි.