තවදුරටත් තද වැසි: ජීවිත 16ක් අහිමි වෙයි

ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි: ජීවිත 16ක් අහිමි වෙයි

by Staff writer 10-11-2021 | 10:13 AM

COLOMBO (NEWS1ST) : දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 23 ක පුද්ගලයින් 62,247 දෙනෙකු පීඩාවට පත්වී සිටී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, මේ වනවිට මරණ 16 ක් වාර්තා වී ඇති බවයි. එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර, ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා තිබේ. ආපදාවට ලක්වූ පවුල් 384 ක පුද්ගලයින් 1,498 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 23 ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ ය. දිවයිනේ ගංවතුර මට්ටමේ ඇති ගංගා ද්‍රෝණිවල ජලමට්ටම් ක්‍රමයෙන් බැස යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා පැවසුවේ ය. මේ අතර, මා ඔය පිටාර ගැලීම හේතුවෙන් මීරිගම කාමරංකාව ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට විය. අප වාර්තාකරු පැවසුවේ, මේ වනවිට මීරිගම නිවාස 108කට හානි සිදුව ඇති අතර, පුද්ගලයින් 447 දෙනෙකු අවතැන් වී ඇති බවයි. කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීම නිසා කුඩා ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල පරගොඩ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට විය. අප වාර්තාකරු පැවසුවේ, බුලත්සිංහල - මෝල්කාව ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බවයි. පුත්තලම - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ 06 කණුව හා 07 කණුව ප්‍රදේශ ජලයෙන් යට වීම නිසා ගාමනාගමනයට බාධා එල්ල විය. කළුබුලුඔය, උඩුගම්පල ගෙදර ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා හෙට්ටිපොල නාරම්මල මාර්ගයේ ගමනාගමනයද අඩාල වී තිබේ. කුරුණෑගල - හලාවත මාර්ගය කොස්වත්ත ප්‍රදේශයේදී පිටාර ගැලීම හේතුවෙන් ජලයෙන් යටවී තිබේ. පවතින වැසි තත්ත්වය හේතුවෙන් රඹාවැව - නාරම්මල මාර්ගය නෙලුම් කණුව ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇතැයි වාර්තා වේ. නාගොඩ ,කුරුපනව දේශයේ පහත්බිම් , අතුරු මාර්ග සහ ප්‍රධාන මාර්ග කිහිපයක් මේ වනවිට ජලයෙන් යටව පවතී. කළු ගඟ පිටාර ගැලීමෙන් දොඩංගොඩ , නෑබඩ ප්‍රධාන මාර්ගයත් ජලයෙන් යටවිය