නීතිය හා සාමය ඇමති ඔහොම මඤ්ඤං කෙළිනවා නම්, රටට කුමක් වෙයිද? - අනුර

by Staff Writer . 10-11-2021 | 2:16 PM

COLOMBO (NEWS1ST): 'එක රටක් එක නීතියක්' සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායට අලුතින් තිදෙනෙකු පත්කර තිබේ.

ඒ අනුව රාමලිංගම් චක්‍රවර්තී කරුණාකරන්, යෝගේෂ්වරී පට්ගුණරාජා සහ අයියාපිල්ලෛ දයානන්දරාජා යන මහත්ම මහත්මීන් මෙම කාර්යය සාධන බලකායට අලුතින් එක්වනු ඇති බවයි. එක රටක් එක නීතියක් සඳහා වන කාර්ය සාධන බලකායේ පළමු පත් කිරීම් සම්බන්ධයෙන් අද (10) පාර්ලිමේන්තුවේදී ද ප්‍රශ්න කෙරිණ. මෙහිදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කර සිටියේ, නව ව්‍යවස්ථා කෙටුම්පතක් කෙටුම්පත් කර හෝ කෙරෙමින් තිබියදි සහ එක් රටක් එක නීතියක් යන සංකල්පයට අදාළව නීති කෙටුම්පතක් සකස් වී තිබියදි එක් රටක් හෝ එක් නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට හේතුව කුමක් ද යන්නයි. තව ද ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා හා සාමජිකයින් පත් කිරීමේදී කවර නිර්ණායකයන් සැලකිල්ලට ගනු ලැබුවේද යන්න සම්බන්ධයෙන් ද දිසානායක මහතා එහිදී විමසා සිටියේ ය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊට පිළිතුරු ලබා දුන්න ද යළි නැගී සිටි අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, තමා විමසූ පැනයන්ට නිසි පිළිතුරු නොලැබුණු බවයි.