by Staff Writer . 09-11-2021 | 10:17 PM
COLOMBO (NEWS1ST): මෙරට වෘත්තිය සමිති අද (09) ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබිණ.
ගුරු - විදුහල්පති වැටුප් ගැටලුව, පොහොර ගැටලුව, ජාතික සම්පත් විකිණීම ඇතුළු රටේ වත්මන් ගැටලුවලට විරෝධයට පළ කිරීම සඳහා අද මෙලෙස විරෝධතා දිනයක් ලෙස නම් කෙරිණ.
නිව්ස් ෆස්ට් වාර්තාකරුවන්ගේ කැමරාවල අද දිනයේ සටහන්වූ විරෝධතා ගණන 42 කි.
පසුගිය තුන් වනදා ගරුවරුන්ට සහය පළ කරමින් විරෝධතාවයේ නිරත වූ මාවනැල්ල මෙඩේරිගම විද්‍යාලයේ දෙමව්පියන්ට තර්ජනය කිරීම හා පහරදීම සම්බන්ධයෙන් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති වරයා අත්අඩංගුවට ගන්නැයි, බල කරමින් අද මාවනැල්ල අධ්‍යාපන කලාපයේ ගුරුවරු විරෝධතාවයක නිරත වූහ.
මාවනැල්ල අධ්‍යාපන කලාපයේ පාසැල් 137 ක ගුරුවරුන් අද (09) මාවනැල්ල පොලීසිය ඉදිරිපිටට පැමිණ විරෝධය පළ කළේ, වර්ජනයක් ද ආරම්භ කරමිනි.
මේ අතර වැටුප් විෂමතා ගැටලුව තවමත් විසඳීමට පියවර නොගැනීමට එරෙහිව අද පස්වරුවේ රටපුරා ස්ථාන ගණනාවකදී ගුරු විදුහල්පති සංගම් විරෝධතාවල නිතරවිය.
ප්‍රධාන විරෝධතාව පැවැත්වුණේ, කොළඹ ලිප්ටන් වටරවුම අසලදී ය.
පසුව විරෝධතාකරුවෝ පාගමනින් ලිප්ටන් වටරවුමේ සිට විහාර මහාදේවී උද්‍යානය දක්වා පාගමනින් පැමිණියහ.
රටපුරා තවත් ප්‍රදේශ ගණනාවක කලාප අධ්‍යාපන කාර්යාල ඉදිරිපිටදී ගුරු විදුහල්පති සංගම් ද සිය විරෝධය පළ කළේ ය.
වෘත්තීය සමිති ප්‍රකාශයට පත්කළ ජාතික විරෝධතා දිනයේ සෞඛ්‍ය සේවක සංගම් 16 ක් එක්දින සංඛේත වර්ජනයක නිරතවිය.
උසස්වීම්, වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් ගණනාවක් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතුවී තිබිණ.
ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල මෙන්ම ප්‍රාදේශීය රෝහල් කිහිපයකට වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණි රෝගීහු අද දිනයේ මෙම වර්ජනය නිසා අපහසුතාවට පත්වූහ.
ගම්පහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, කුරුණෑගල පළාත්බද මහ රෝහල ඇතුළු සෙසු රෝහල්වල ද වර්ජන ක්‍රියාත්මක විය.
සමස්ත ලංකා සුව සේවා සංගමය බදුල්ල මහ රෝහල ඉදිරිපිට අද විරෝධතාවයක නිරත වුණේ, රුපියල් 10.000 ක වැටුප් වැඩිවීම, නිළ ඇදුම් හා අතිකාල දීමනා පිළිබඳ ඉල්ලීම් සිහිපත් කරමිනි.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදීත් මෙම ඉල්ලීම් මුල්කරගෙන අද තවත් විරෝධතාවයක නිරත විය.
ජාතික විරෝධතා දිනයට සහය පළ කරමින් අද දහවල් රත්මලාන දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලයේ සේවකයින් පිරිසක් රත්මලාන බෙලෙක් කඩේ මන්සන්දියේදී විරෝධතාවයක නිරත විය.
ජීවන වියදමට සාපේක්ෂව වැටුප රුපියල් 10.000 කින් වැඩි කරන ලෙස හා තවත් ඉල්ලීම් ගණනාවක් ඔවුහු ඉල්ලා සිටියහ.
ඉහළ යන ජීවන වියදමට සරිලන වැටුප් වැඩි කිරීමක් ලබා දෙන්නැයි ඉල්ලමින් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ටයර් හන්දියේදීත් අද විරෝධතාවක් පැවැත්විණ.
අද පෙරවරුවේ වෘත්තිය ත්‍රීරෝද රථ සේවක සංගමය පන්නිපිටියේ සිට මහරගම නගරය දක්වා විරෝධතා රථ පෙළපාලියකින් පැමිණියේ ය.
ඉන්ධන මිල, බඩු මිල සහ වාහන අමතර කොටස් මිල ඉහළ යාම මෙන්ම ලීසිං සදහා සහන ලබාදෙන ඔවුහු මෙහිදී බලකර සිටියහ.
ත්‍රිරෝද රථ පෙළපාලියේ පැමිණි පිරිස මහරගම නගරයේ රැස්වී විරෝධතාවය පළ කළේ ය.
විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය අද පෙරවරුවේ මේ විරෝධතාව පැවැත්වූයේ කුරුණෑගල නගරයේදී ය.
විශ්‍රාමිකයින්ගෙන් අග්‍රහාර රක්ෂණය සඳහා රුපියල් 400 ත් 600 ත් අතර මුදල් කප්පාදු කිරීම නවතා දමන ලෙස මේ පිරිස ඉල්ලා සිටියේ ය.
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා අද පස්වරුවේ පැවසුවේ, විශ්‍රාමිකයින් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටවූ බවයි.
මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් අද මීගමුවේදී විරෝධතාවක නිරතවිය.
ඒ මුතුරාජවෙල ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම, පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු නොවීම මෙන්ම ඉහළ යන ජීවන වියදම ඇතුළු සමාජීය ප්‍රශ්න ගනනාවක් පිළිබඳව අවධානය යොමුකරමිනි.
https://www.youtube.com/watch?v=QwVC_yveTgU
https://www.youtube.com/watch?v=Vt31ZdxstUs
https://www.youtube.com/watch?v=-ctmNDQbDI8
https://www.youtube.com/watch?v=TVp_L7GEu9A