COLOMBO (NEWS1ST): පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශක කමිටුවේ සාමාජික ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, නීතිපතිවරයාට දැනුම්දී ඇතැයි, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රෝහන්ත අබේසූරිය මහතා අද (08)ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
ඔහු මේ බව දැනුම් දුන්නේ පියතුමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳ වූ අවස්ථාවේදී ය.
අද (8) උදෑසන පෙත්සම කැඳවන අවස්ථාවේ කොළඹ අලු ත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්විණ.
භික්ෂූන් වහන්සේ සමග කතෝලික සභාවේ පූජකතුමන්ලා, කන්‍යා සොහොයුරියන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පෙත්සම ගොනුකර තිබුණේ, රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ලට අනුව තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි.
පෙත්සම අද සලකා බැලුවේ විජිත් මලල්ගොඩ, එල්.ටී.බී දෙහිදෙණිය හා ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල හමුවේයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් විටක එහි පෙනී සිට අවශ්‍ය ප්‍රකාශ ලබාදීමට සිය සේවාදායකයා එකඟ වන බව පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා එහිදී අධිකරණයට දැනුම් දුන්නේ ය.
පෙත්සම සලකා බැලීම සඳහා ලබන අප්‍රේල් මස 4 වැනිදා නැවත කැඳවීමට නියමිතයි.
පසුගිය මස 23 වැනිදා සුම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකදී ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස මේජර් ජෙනරල් සුරේෂ් සලෙයි මහතා පසුගිය 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා දෙකකදී පියතුමාට දැනුම්දී තිබුණේ, දණ්ඩ නීති සංග්‍රහයේ සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිමක් පිළිබඳ සම්මුති පනතේ වගන්ති යටතේ කරන විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබා ගැනීමට පැමිණෙන ලෙසයි.
මුල් අවස්ථාවේ ඒ සඳහා කල් ඉල්ලා සිටි ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පසුව නීතිඥවරයකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබුණේ, මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බැවින් නියම කළ දිනයේ පැමිණිය නොහැකි බවයි.