by Staff Writer . 08-11-2021 | 8:05 PM
COLOMBO (NEWS1ST): දිවයිනේ ප්‍රදේශ රැසකට මේ වන විටත් තද වැසි ඇදහැළෙමින් පවතී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පවතින අධික වැසි සමග කළු ගඟ ද්‍රෝණියේ කුඩා ගග උපද්‍රෝණි ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24 තුළ ලැබී ඇති වර්ෂාපතනය හේතුවෙන් කුකුලේ ගඟේ හා කුඩා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි.
එම තත්ත්වය මත කළු ගඟ ද්‍රෝණියේ බුලත්සිංහල, බදුරලිය, පාලින්දනුවර, මිල්ලණිය, හොරණ, දොඩංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ හා කළු ගඟ ගංවතුර නිම්නයට අයත් පහත් බිම්වල ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
අත්තනගලු ඔයේ ජල මට්ටමද ඉහළ ගොස් තිබේ.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම තත්ත්වය මත අත්තනගලු ඔය ද්‍රෝණියේ, ගම්පහ, අත්තනගල්ල හා ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම්වල ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බවයි.
මේ අතර පළාත් කිහිපයකට තවදුරටත් මිලිමිටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඔහු ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ, නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වළකින ලෙසයි.
මේ අතර දිස්ත්‍රික්ක 8 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම ද තවදුරටත් දීර්ඝ කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල, පස්සර, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙලුව, යක්කලමුල්ල, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ දොලුව, උඩුනුවර, ගගවටකෝරලය, පස්භාගකෝරලය, යටිනුවර, හාරිස්පත්තුව කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, යටියන්තොට, කෑගල්ල, බුලත්කොහුපිටිය, අරණායක යන ප්‍රදේශවලට අදියර එක යටතේ නායයාම් ඇනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, බද්දේගම, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, රුවන්වැල්ල, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, කලවාන හා ඇහැලියගොඩ යන ප්‍රදේශවලට අදියර දෙක යටතේ නායයම් අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.
මේ අතර පවතින අධික වර්ෂාව සමග යම් කිසි ආපදාවක් සිදුවුවහොත් ජනතාව මුදාගැනීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.
නාවික හමුදා ප්‍රකාශක, කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, එවැනි නාවික කණ්ඩායම් 3 ක් මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයට පිටත් කර හැර ඇති බවයි.
ගාල්ල, උඩලමත්ත ප්‍රදේශයටද නාවික කණ්ඩායමක් අනියුක්ත කර තිබේ.
කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, වැලිසර සහ කොළඹ අවට කඳවුරුවල නාවික හමුදා කණ්ඩායම් 24 ක් සූදානමින් තබා ඇති බවයි.
මීට අමතරව ගාල්ල නාවික කඳවුරේ සහන කණ්ඩායම් 6 ක්ද සුදානමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.