රට වටා යන චීන පොහොර නැව කොළඹ වරාය භාර ගනීද?

රට වටා යන චීන පොහොර නැව කොළඹ වරාය භාර ගනීද?

by Staff Writer . 06-11-2021 | 7:20 PM

COLOMBO (NEWS1ST):  ප්‍රතික්ෂේප කරන ලද චීන කාබනික පොහොර රැගත් හිපෝ ස්පිරිට් නෞකාව මේ වන විට කොළඹ වරායට ආසන්නව නතර කර ඇති බව බව ජාත්‍යන්තර සමුද්‍ර ගමනාගමන වෙබ් අඩවි තහවුරු කරයි.

අද (06) පෙරවරුවේ හිපෝ ස්පිරිට් නෞකාව ශ්‍රී ලංකා මුහුදේ බටහිර මුහුදු ප්‍රදේශය දෙසට යාත්‍රා කරමින් තිබිණ. පසුගිය 24 වෙනිදා වෙනත් නමකින් හම්බන්තොටට නුදුරු මුහුදේ පෙනී සිටි මෙම නෞකාව පසුගිය 02 වැනිදා සිය සැබෑ නමින් මාතර වැලිගම සිට නාවික සැතපුම් 61 ක් දුරින් පෙනී සිටියේ ය. එතැන් සිට යළිත් චන්ද්‍රිකා සබඳතා විසන්ධි කර අතුරුදන්ව ඇති නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේ කුමන ස්ථානයක සිටිනවා ද යන්න නිශ්චිත කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් නොවී ය. ඒ අතරවාරයේ නෞකාව පිළිබඳව නැවතත් තොරතුරු වාර්තා වෙන්නේ, ඊයේ දිනයේදීයි. ඊයේ වාර්තා වූ තොරතුරුවලට අනුව, රාත්‍රී 11 පසුවන විට හිපෝ ස්පිරිට් නෞකාව තවදුරටත් ගැඹුරු මුහුදට, නැතහොත් චීනය දෙසට යාත්‍රා කරන බවට තොරතුරු වාර්තා විය. පසුව මධ්‍යම රාත්‍රීයේ නැවතත් නෞකාව කොළඹ වරාය දෙසට යාත්‍රා කිරීමට ගමන් ආරම්භ කර තිබිණ. අද අලුයම 5 වන විටත් නෞකාව කොළඹ වරාය දෙසට ගමන් ගනිමින් සිටි බව සමුද්‍ර ගමනාගමන වෙබ් අඩවියේ දිස්විය. නැව මේ වන විට කොළඹ වරායට ආසන්නව නතර කර හමාරයි. රට වටා යාත්‍රා කරමින් තිබූ මෙම නැව කොළඹ වරාය භාර ගනීද? අප මේ සම්බන්ධයෙන් හාබර් මාස්ටර් වරයාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, අදාළ නෞකාව යම් සැපයුමක් ලබා ගැනීමට හෝ කොළඹ වරායට පැමිණෙන බවට මේ වනතෙක් කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බවයි. මේ අතර නෞකාව වරාය පරිශ්‍රයට ඇතුළුවීම වළක්වන ලෙස සියලු අංශවලට නියෝග කර ඇතැයි හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ මහතා සඳහන් කළේ, අදාළ නෞකාවේ ඇති පොහොර තොගය කිසි ලෙසකත් බාර නොගන්නා බවයි. අවස්ථා දෙකකදීම මෙම පොහොර තොගයේ හානිකර බැක්ටීරියා අඩංගු බව තහවුරු වීම හේතුවෙන්, මෙය භාර ගැනීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළේ ය. මේ අතර චීන පොහොර නැවේ හැසිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මෙලෙස අදහස් පළ කළේ ය.
''මේ නැව මොකද කරන්නේ පොහොර ටිකක් මෙට්‍රික් ටොන් විසිදාහක් තියාගෙන අපේ මුහුදේ දැන් එහෙට මෙහෙට කරක් ගගහ ඉන්නවා. මේක දැන් ජාත්‍යන්තර මුහුදට ගිහිල්ලා නෑ. එක වෙලාවකට නෑ. නැවේ නම වෙනස් කරනවා. තව වෙලාවකට ජී.පී.එස්. වෙනස් කරනවා. ඇයි මේ. ඒ චීන සමාගමට විශ්වාසයක් තියෙනවා. ඒ මෙට්‍රික් ටොන් විසිදාහ විතරක් නෙමෙයි තියන ඉතුරු මෙට්‍රික් ටොන් අසූ දාහක් ලංකාවට ගොඩ බස්සන්න. පුළුවන් කියලා. මේක ඇතුළේ හුවමාරු වෙන්න ඕන. කොමිස් මේ වෙනකොට හුවමාරු වෙලා ඉවරයි. චීන සමාගම නිකන් ලංකාවට ආවේ නෑ. අපි කියන්නේ පුළුවන්නං ජනාධිපතිවරයා නැත්නම් අගමැතිවරයා ප්‍රකාශ කරන්න කරන්නේ කරන්න මෙට්‍රික් ටොන් ලක්ෂ ගන්නේ නෑ. කියලා.මේ චීන නැව අපි වහාම හරවා යවනව කියල. ඒක කියන්න සූදානම් නෑ. ඇයි මේක පිටිපස්සේ ගිලපු දේවල් තියෙනවා. අද ඒවා මම අර ගන්න බැරුව තමයි මේ ඉන්නේ''