චීන පොහොර නැව බටහිර දෙසට යාත්‍රා කරයි

චීන පොහොර නැව ශ්‍රී ලංකා මුහුදේ බටහිර දෙසට යාත්‍රා කරමින් ඇති බවට තොරතුරු

by Staff Writer . 06-11-2021 | 7:07 AM

COLOMBO (NEWS1ST):  චීන පොහොර රැගත් හිපෝ ස්පිරිට් (Hippo Spirit) නෞකාව ශ්‍රී ලංකා මුහුදේ (Sea of Sri Lanka) බටහිර මුහුදු ප්‍රදේශය දෙසට යාත්‍රා කරමින් ඇතැයි නාවික දත්ත විශ්ලේෂණ වෙබ් අඩවි අනාවරණය කරයි.

අවස්ථා දෙකකදීම මෙම පොහොර තොගයේ හානිකර බැක්ටීරියා අඩංගු බව තහවුරු වීම හේතුවෙන්, මෙය භාර ගැනීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළේ ය. මේ අතර හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට එවූ චීන සමාගමට ගෙවීම් කිරීම අවහිර කරමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 19 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ද අධිකරණය ඊයේ (05) නියෝග කළේ ය. තව ද ආන්දෝලනාත්මක චීන කාබනික පොහොර අඩංගු නෞකාවේ ඇති පොහොර ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු සහිත වාර්තාවක් චීන තානාපති කාර්යාලයට ලබා දීමට තීරණය කර ඇතැයි, ඊයේ (05) වාර්තා විය. කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා ඊයේ ප්‍රකාශ  කර තිබුණේ,  නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීම මත පොහොර ප්‍රතික්ෂේප කිරිම ඇතුළු කරුණු සහිතව අදාළ වාර්තාව ලබා දෙන බවයි.

චීන පොහොර නැව වැලිගම මුහුදෙන් මතුවෙයි

දින කිහිපයක් අතුරුදන්ව තිබූ චීන පොහොර නැව පසුගිය 02 වනදා #SeaOfSriLanka හෙවත් ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් මතුවිය. ඒ මාතර වැලිගම සිට නාවික සැතපුම් 61 ක් පමණ දුරකිනි. පැනමා ධජය යටතේ යාත්‍රා කරන මේ නැව නැවතත් ජාත්‍යන්තර නාවික ගමනාගමන දත්ත පද්ධතිවල පෙන්වන්නේ හිපෝ ස්පිරිට් නමිනි. ජාත්‍යන්තර නෞකා ගමනාගමන දත්ත පද්ධති නිරීක්ෂණයේදී එදින පෙනී ගොස් තිබුණේ, වැලිගම සිට නාවික සැතපුම් 61 ක් පමණ දුරින් රැඳී සිටින නැවේ දිශානතිය කොළඹ වරාය දෙසට යොමුවී ඇති ආකාරයකි. කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20000 රැගෙන මෙම නැව මෙලෙස යාත්‍රාකරමින් සිටින්නේ, උපද්‍රවකාරී ක්ෂුද්‍රජීවීන් ඇතැයි, මෙරට ශාඛ නිරෝධායන සේවය දෙවරක්ම තහවුරු කිරීමෙන් පසු ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇති පසුබිමකදී ය. මෙම නෞකාව පසුගිය සැප්තැම්බර් 22 වනදා චීනයේ චින්දාඕ වරායෙන් පිටත්වී තිබුණේ, කොළඹ වරායට පැමිණෙන බවට ප්‍රසිද්ධ කරමිනි. නමුත් අතරමගදී ගමන් මාර්ගය වෙනස් කළ නැව සිංගප්පූරුවට යාත්‍රා කළ අතර අවසන්වරට එය ඔක්තෝබර් 13 වනදා ජාත්‍යන්තර නාවික ගමනා ගමන දත්ත පද්ධතිවල දක්නට ලැබුණේ මලක්කා සමුද්‍ර සන්ධියේයි. ඉන් සපසුව හිපෝ ස්පිරිට් නැව පිළිබඳව තොරතුරක් නොලැබුණ අතර එක්වරම එය යාල වනෝද්‍යානයට සමීපව හම්බන්තොට මුහුදේ ඔක්තෝම්බර් 24 වනදා දක්නට ලැබුණේ, සෙයියෝ එක්ස්ප්ලෝරර් නමිනි. එම අවස්ථාවේ දත්ත සටහන් අනුව නෞකාව හම්බන්තොටින් පිටත ගැඹුරු මුහුදට යාත්‍රා කරන ආකාරයක් දක්නට ලැබුණ අතර යළිත් දත්ත සටහන්වලින් එය අතුරුදන් විය. මේ අතර ඔක්තෝම්බර් 31 වනදා නැවේ දත්ත යාවත්කාලීන කර තිබූ අතර හම්බන්තොට මුහුදේ 24 වනදා දිස්වූ නැව හිපෝ ස්පිරිට් ලෙස යාවත්කාලීන කළ දත්තවල සඳහන්ව තිබිණ. එය නැවතත් පසුගිය 02 වනදා උදෑසන 9.31 ට මතුවුණේ, මාතර වැලිගම සිට නාවික සැතපුම් 61 ක් පමණ දුරින් ශ්‍රී ලංකා මුහුදෙනි.

නාවික දත්ත විශ්ලේෂණ වෙබ් අඩවියේ නවතම දත්ත දැන් අනාවරණය කරන්නේ, නෞකාව ශ්‍රී ලංකා මුහුදේ (Sea of Sri Lanka) බටහිර මුහුදු ප්‍රදේශය දෙසට යාත්‍රා කරමින් ඇති බවටයි.