COLOMBO (NEWS1ST): චීනයේ කාබනික පොහොර නැව අපේ මුහුදේ තවදුරටත් සිටියදී ඉන්දියාවෙන් නැනෝ දියර පොහොර ලීටර් ලක්ෂ ගණනක් මේ වන විට මෙරටට ගෙනවිත් තිබේ.
එහෙත් ඒවා ගොවීන් අතට ලැබී තිබෙනවා ද ?
ආනයනික පොහොර මුලින්ම අම්පාරට ලබාදෙන්න යෝජනා විය.
ලබන 15 වැනිදා වන විට මහකන්නයේ කුඹුරු අස්වැද්දී සම්පූර්ණ විය යුතුයි.
එහෙත් තමන්ට කිසිදු පොහොරක් තමන්ට ලැබී නොමැති බවට අම්පාර උහන ගොවීහු මැසිවිලි නගති.
- තාම අපිට නම් පොහොර ලැබුණේ නෑ. කුඩුවත් දියර පොහොරවත් කිසිම දෙයක් අපිට හම්බ වුණේ නෑ. දැන් අපි නිකන්ම කුඹුරු වපුරනවා. කෝ දැන් දෙනවා කියලා කිව්ව නේ.
- ඒ ගොල්ලන්ට ඕන වෙලාවට දීලා වැඩක් නෑ නේ. රතු කුඩු මොනවා කරන්නද? රතු කුඩු විතරක් ගහලා වැඩක් නෑ නේ. කුඹුරුවලට කවද්ද දන්නෑ. මේ ගොල්ලො දෙන්නේ අපිට. අන්තිමේදී ගොවියා හිඟමනට පත් වෙනවා මේ වැඩෙන්.
ගොවීන් පවසන්නේ රජය මගින් ලබා දෙන බවට පොරොන්දු වූ රුපියල් 5000 දීමනාව හෝ මෙතෙක් ලැබී නොමැති බවයි.
- දෙනවා කිය කියා හැමදාම අපිව රැවැට්ටුවා. වතුර විතරයි ලැබිලා තියෙන්නේ. පොහොර ගෙනාවා කියලා කියනවා විතරයි ලබා දුන් නෑ. 5000 ක් දෙනවා කියලා කිව්වා හෙක්ටයාර් එකකට ඒවත් දුන් නෑ. තව දාලා නෑ ගිණුම්වලට
- කොහොම හරි දවස් 10 12 වෙන ගොයම් පැළ තියනවා.ඉතිං ඒවට ගහන්න පොහොර නැහැ. දෙනවනම් දෙන්න එපැයි. එක්කො කඩවලට හරි ගෙනත් දාන්න එපැයි.එහෙම එකක් වත් නෑ නේ.